මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පල කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව රට පුරා සේවය කළ ඩෙංගු මර්දන සහායකයින්, කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම සඳහා සිදුකළ සියලු රාජකාරිවලින් ඉවත් වී ඇත.
PCR පරීක්ෂණ සඳහා සහාය වීම, විෂබීජහරණ කටයුතු, ප්‍රජාව දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග නිරෝධායන කටයුතුවලට සහාය වීම වැනි කාර්යයන් මොවුන් විසින් සිදුකරනු ලැබීය.
තම සේවය ස්ථිර කර නොමැති පසුබිමක රු 22,000ක මාසික දීමනාවකට මෙම සියලු රාජකාරි ඉටුකළ නමුත් එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තම සංගමයද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පැවසී ය.
පසුගිය ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කෙරිණි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතු මහජනතාවට පීඩාකාරීවන බවට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සිදුකර ඇති ප්‍රකාශයට විරෝධය පලකරමින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය රැකවරනය සහිත බලතල නොදීමට විරෝධය දක්වමිණි.










