ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් නිරෝධායනයට සහාය

ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් නිරෝධායනයට සහාය

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම රෝගීන් වැඩි වශෙන් ප්‍රතිකාර ලබාගන්නා කොළඹ අයි.ඩී.එච්. උණ රෝහලේ කාර්ය මණ්ඩලයට සනීපාරක්‍ෂක උපකරණ ලබාදීමටත් දැනට පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන දෙකට අවශ්‍ය උපකරණ ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුල යොදාගෙන කටයුතු කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ටිල්වින් සිල්වා මහතා…

“අපිට ලැබෙන සෑම අවස්ථාවකදීම ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන්න අපි සූදානමින් ඉන්නවා.

අපේ පක්‍ෂයේ එවැනි ස්වේච්ඡාවෙන් වැඩ කරන විනයගරුක, කැපවීමක් සහිත කණ්ඩායමක් ඉන්නවා. මීට පෙර සුනාමි, ගංවතුර, නියඟයන්වලදී අපි ජනතාවට උදව්කරලා තිබෙනවා. අපි අපේ සාමාජිකයින්ට උපදෙස්දී තිබෙනවා ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍යතා අනුව සහයෝගය ලබාදෙන්න කියලා.

නමුත් මෙම තත්වය වසංගත රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අංශවල විශේෂ උපදෙස් නැතිව අපිට වැඩ කරන්න බැහැ. බලයලත් ආයතන මගින් විධිමත් උපදෙස් ඇතිව වැඩකරන්න අපිට ආරාධනයක් ලැබෙනවා නම් අපි ස්වේච්ඡාවෙන් සේවය සපයන්න සූදානම්.

ඒ වගේම මේ මොහොතේ ආණ්ඩුව තමන්ගේ වගකීම හරි විදිහට ඉටු නොකරන තත්වයක් තුළ අප පක්‍ෂයේ මහජන නියෝජිතයන්ගේ අරමුදල් යොදාගෙන අත්‍යාවශ්‍ය ස්ථානවලට උදව්කරන්න අපි තීරණය කොට තිබෙනවා.

අයි.ඩී.එච්. උණ රෝහලේ කාර්ය මණ්ඩලයට සනීපාරක්‍ෂක උපකරණ ලබාදීමටත් දැනට පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන දෙකට අවශ්‍ය උපකරණ ලබාදීමටත් කටයතු කරනවා.

ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කළබල නොකර අනවශය බිය ඇති කර ගැනීමෙන් තොරව රෝගය වළක්වා ගැනීමට පුරවැසියන් ලෙස ඔබට කළ හැකි වගකීම ඉටුකරන්න කියලා. ඒ වගේම අපි පක්‍ෂයක් හැටියට ඉටුකළ යුතු ඕනෑම කැපකිරීමක්, ඕනෑම මැදිහත්වීමක් සිදුකරන්න සූදානමින් ඉන්නවා.

ආණ්ඩුවට අවධාරණය කරනවා මේ මොහොතේදී පුද්ගලික වාසිගන්න කටයුතු කරන්නේ නැතිව ජනතාව සමග සෙල්ලම් කරන්නේ නැතිව පොදු ජාතික වැඩසටහනක් සකස් කොට එයට සියලු දෙනා එකතු කර ගන්න කියලා.” වැඩිදුරටත් පැවසී ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්