ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කොරෝනා මර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවත් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං නිවේදනයක් කරමින් සඳහන් කරන්නේ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීයව වේගයෙන් පැතිර යමින් තිබෙන බවත් පොකුරු පිටින් ආසාදිතයන් හමුවෙමින් තිබෙන බවත් ය.

“සමූහයකට වයිරසය සම්ප්‍රේෂණය වන බව තහවුරු වී තිබෙනවා. එය පලදායී සෝදිසියත් වැඩි වැඩියෙන් පරීක්ෂාවීමටත් කරන අනතුරු ඇඟවීමක්. ඒ නිසා දැනට වඩා ක්‍රියාකාරී විය යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට අපි දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. එම ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න වුවමනායි. ඒ වගේම සමාජයක් ලෙස සාමූහිකව ක්‍රියාමාර්ග ගත යුතු” යැයිද වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං එම නිවේදනය සිදුකරමින් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සලකා බලන අග්නිදිග ආසියානු කලාපයට රටවල් 11ක් අයත් වන අතර ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ මෙම කලාපයේය.

ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලනය සහ භූතානය යන රටවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

දැනට වාර්තා වී ඇති සංඛ්‍යාදත්ත බැලීමේදී කොරෝනා වයිරසය ප්‍රජාවකට සම්ප්‍රේෂණය වන බව පැහැදිලිව පෙනී යන්නේ යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං මහත්මිය ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සම්ප්‍රේෂණය වීමේ වේගය අඩු කිරීමට පියවර ගත යුතු යැයිද එවිට වයිරසය පැතිර යෑමද නවතින බව ඇය අවධාරණය කරයි.

“අපි කඩිනම් හා දැඩි පියවර ගන්න ඕනෑ. අපි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. මේ දැන්ම” යැයි ඇය දැඩිය අවධාරණය කරයි.

ආසාදිතයන් හඳුනාගැනීම, පරීක්ෂා කිරීම, ප්‍රතිකාර කිරීම, රෝගීන් හුදෙකලා කිරීම හා ආසාදිතයන් මුණ ගැසුණු අනෙක් පුද්ගලයන් කවුදැයි සොයාබැලීම අඛණ්ඩව කළ යුතු යැයි වෛද්‍ය සිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අත් සේදීම, කහින සහ කිවිසුම් යන විටදී මුහුණ ආවරණය කිරීම, ප්‍රජාව සමග එක්රැස් වීමෙන් වැළැක්වීම, නිරන්තරයෙන් අත් සේදීම යනාදී සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිපදින්නැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියි.

අද (18) වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගොස් ඇති අතර මරණ ගණන 8,000 ඉක්මවා ගොස් තිබේ. කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 81,972ක් ලෙස වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්