තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.
හිටපු අමාත්‍යවරයා මෙම ඇප අයදුම්පත යොමුකරමින් සඳහන් කර ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ, සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගත් බවට සඳහන් කරන පුද්ගලයෙකු සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයක් ලබාගෙන ප්‍රවාහනය කිරීමට සම්බන්ධව වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.
මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි ද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.









