රේගු බාරයේ පැවති රත්‍රන් තොගයක් නීත්‍යානුකූල නොවන අන්දමින් නිදහස් කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(11) නියෝග කර තිබේ.
පසුගිය රජය සමයේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රත්‍රං කිලෝග්‍රෑම් 45. 3 ක ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා රේගුවට භාර දී තිබියදී, අනුරාධපුර සඳගිරිසෑයේ තැන්පත් කිරීමට කිලෝ 8ක බරකින් යුත් සමාධි පිළිමයක් සෑදීම සඳහා මෙම රත්‍රන් රේගු ආඥා පනතට පටහැනිව නිදහස් කරගෙන තිබිණි.
මේ අනුව සැකකරුවන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගත්තේ ය.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
එසේම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.










