ජනාධිපතිවරණය කැඳවීම වෙනුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමා තිබේ.
ගාල්ල හිටපු නගරාධිපති, ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරන මෙත්සිරි ද සිල්වා මහතා පෙත්සම ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවය.
එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බව ඔහු පවසයි.
ඒ අනුව මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයක් කැඳවා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිතකරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු පවසා සිටියි.
කෙසේ වෙතත් මෙම පෙත්සම ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇතැයි එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබේ.
අදාල පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට මේ සම්බන්ධව අවවාද සිදුකර තිබේ.










