රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (08) නියෝග කර තිබේ.
චෙක්පත් වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීමට එම ව්‍යාපාරිකයාගෙන් මෙම සැකකරු රුපියල් 513,000 මුදලක් මුලින්ම ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.
පසුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයාට ලබාදීමට බව පවසා එම ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් රුපියල් අසූ දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරු රක්ෂිත භාරයේ තැබීමට නියෝග කර ඇත.









