පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදාදීම තුළින් රුපියල් මිලියන 650ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා මත සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සිරදඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය ලබන ජූලි මස 10 වැනිදා විභාගයට ගැනීමට අද(08) නියම කෙරිණි.
අභියාචනා පෙත්සම අද අභියාචනාධිකරණ වැඩබලන සභාපතිනී දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදු කෙරිණි.
පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 650 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ මෙම නඩුව ගොනුකළ ඇති අතර එහි වරදකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට නම්කෙරිණි.
නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා, වරදකරුවන්ට වසර තුනක සිරදඬුවම් සහ මුදල් දඩ නියෝග කළේය.
එම නියෝගය නීති විරෝධී බවත් අදාල චෝදනාවලින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචන පෙත්සම ගොනුකර ඇත.










