සිරිදිගනේ සිරි තිලකසිරි නාහිමියෝ අක්ත පත‍්‍ර ලබති

සිරිදිගනේ සිරි තිලකසිරි නාහිමියෝ අක්ත පත‍්‍ර ලබති

ජාතික භික්ෂු පෙරමුණේ උප සභාපති අතිපූජ්‍ය සිරිදිගනේ සිරිතිලකසිරි නාහිමිපාණන් වෙත උඩරට අමරපුර නිකායේ නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය ඊයේ (17) අම්පාර නගර ශාලාවේදී පැවැත්විණි.

ධම්මාචරිය, ධම්මාරාම, ධම්මරංසි වංශාවතංස යන ගෞරව නාම සම්මුතිය සහිතව උඩරට අමරපුර මහ නිකායේ නැගෙනහිර තමන්කඩු දෙදිසාවේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය සිරිදිගනේ සිරි තිලකසිරි නාහිමිපාණන් වහන්සේගේ නාකෝත්සවය ඊයේ සවස අම්පාර නගරශාලාවේදී පැවැත්වැත්වුණි. උඩරට අමරපුර මහා නිකායේ මාහානයක ධුරන්‍ධර අතිපූජ්‍ය මහෝපාධය, පණ්ඩිත නුවරඑළියේ චන්‍දජෝති නාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම නායකෝත්සවය සඳහා ප‍්‍රධාන ගිහි ආරාධිතයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාය. ගිහි පැවිදි අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අලංකාර පෙරහැර සහිතව පැවති නායක පදවි ප‍්‍රාප්ති උත්සවයෙන් ඊයේ අම්පාර නගරය අසිරිමත් විය.

දිගාමඩුලු දිසාවට පමණක් නොව මුළු ලක්දිවටම වැඩදාය ශාසනික, සාමාජික, ආගමික සේවයක් සිදුකරමින් සිටින උහණ සිරි ධම්මරතන පිරිවෙන්පති, අධ්‍යාපන උපදේශක පූජ්‍යපාද සිරිදිගනේ සිරි තිලකසිරි නාහිමිපාණන් වහන්සේට ලැබුණ මෙම නායක පදවිය තමන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභාව ඉතා තුටු සිතින් යුතුව ප‍්‍රදානය කරනලද්දක් බව අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ අනුශාසනා කළහ. මෙහිදී ජාතික භික්‍ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ ලේඛකාධිකාරී, මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි, උඩරට අමුරපුර සාම ශ්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ගිරාඹේ මංගලාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අනුශාසනා පැවැත්වූහ.

අභිනව නාහිමිපාණන් වෙත අක්තපත‍්‍රය පිළිගැන්වීම සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද මෙහිදී කෙටි දේශනයක් පැවැත්වීය. එහිදී අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ සමානාත්මතාව, සහජීවනය හා සරල දිවි පැවැත්ම යන කාරණා මානව සමාජයේ හිතවැඩ පිණිස බුදුරජාණන් වහන්සේ දේශනාකළ ඉතාමත් වැදගත් දේශනා බවයි. අද ශ්‍රී ලාංකේය ගිහි පැවිදි අප සැමට අත්‍යාවශය ප‍්‍රධානම සාධක අතර මෙම කාරණා තුන ප‍්‍රමුඛ වුවත් ඇතැම් ගිහි පැවිදි අයගෙන් සිදුකෙරෙන්නේ අනිකාට ගැරහීම, පහත්කිරීම, අසාධාරණ ලෙස සැලකීම, නොතිත් ආශාවෙන් දිවි ගෙවන්නට දරන උත්සාහය බවත් මේ නිසාම අප සමාජය අතිශය පීඩාකාරී වී ඇතිබවත්ය.

අභිනව නාහිමි මෙම පදවියේ ශක්තියද රැගෙන, රෝගී වී සිටින ශ්‍රී ලාංකේය සමාජය සුවපත් කිරීම සඳහා උත්සුක වනු ඇතිබව තමගේ දැඩි විශ්වාසය බවද අනුර දිසානායක මහතා පැවසීය. එසේ සිදුකිරීම සඳහා තමාගේත් ජනතා විමුක්ති පෙරමුණේත් සුභාශිංසන උන්වහන්සේ වෙත පිරිනමද බවද වැඩිදුරටත් අනුර දිසානායක මැතිතුමා පවසන ලදි.

Facebook
Twitter
LinkedIn