ලබන 15 (අගහරුවාදා) වනදාට යෙදී ඇති තෛපොන්ගල් දිනය නිමිත්තෙන් හෙට (14) දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලය විසින් නිවේදනය කර ඇත. දෙමළ ජනතාව විසින් තෛපොන්ගල් දිනය වසරේ ආරම්භක දිනය වශයෙන්ද හඳුන්වනු ලබයි. උතුරු පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොන්ගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් වෙතට තෛපොන්ගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.










