රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට

රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධියේම ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනා එල්ලවී තිබිණි.

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණයේදී අද (28) කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.

නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය.

මෙම සිද්ධිය අනාවරණය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහර දීම සහ ජීවිත තර්ඩජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්වී තිබේ.

Facebook
Twitter
LinkedIn