ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසටි නිවේදනය අවලංගු කරන මෙන් ඉල්ලා පාර්ෂව ගණනාවක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරු නලීන් පෙරේරා මහතා තීරණය කර ඇත.
විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ජී.එල් .පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසම් සළකා බලමින් අගවිනිසුරුවරයා මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිරද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්තු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන මස 04, 05 ,06 යන දිනවලදී මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
අතරමැදි පෙත්සම්කරැවන් සිය මෝසම් මගින් සදහන් කර ඇත්තේ විභාගයට ගැනෙන්නේ ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවයි.
ඒ අනුව මෙසේ සත් පුද්ගල විනිසුරු මඩුලක් පත් කිරීමට අගවිනිසරුවරයා තීරණය කර ඇත.










