මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කළ නීති විරෝධී අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව කටයුතු කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති, මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදී අදාළ පෙත්සම ලබන 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනි දා සළකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන්ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා ඇත.
පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවත්ය.
මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.









