ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු මැරයන්ගේ ප්‍රහාරයට ලක් වූ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා නාවික හමුදා සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
සිය ජීවිත ආරක්ෂාව පතා මේ පිළිබදව ඉදිරි දින දෙක තුළදී ඉහළ නිලධාරීන්ට දැනුම් දෙනු ඇතැයි ඔහුගේ සමීපතම ආරාංචිමාර්ග සඳහන් කරයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු මැරයන් නාවික හමුදා මූලස්ථානයේ භෝජනාගාරයේදී තමාට පහරදුන් බවට ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා ඊයේ (25) කොටුව පොලිස්ථානයට පැමිණිල්ලක්ද සිදු කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ගිය කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට නාවික හමුදා පරිශ්‍රයට ඇතුළු වීමට පවා ඉඩ දී නැත.
එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න හදිසියේම ඊයේ නාවික හමුදා මූලස්ථානයට පැමිණ ඇති අතර එසේ ඔහුගේ පැමිණීමද ගැටළු සහගත බව එම මූලස්ථානයේ ඉහළ නිලධාරීහු පවසති.
පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබාදුන්නේ මෙම නාවික ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාය.
පසුගිය සැප්තැම්බර් 26 වනදා මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියේ වැදගත් කරුණු රැසක් අනාවරණය කළ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට ජීවිත තර්ජන එල්ලවී ඇති බවය.
කෙසේ නමුත් ඊයේ ඇතිවූ සිද්ධියද එම පෙර සිදුවීම්ද පදනම් කරගෙන ලක්සිරි ගලගමගේ මහතා නාවික හමුදා සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.










