බහුතරය නැත්නම් තමන් ගැන මහින්දට තීරණයක් ගන්න වෙනවා… ජනාධිපති මාධ්‍යයට කියයි…

බහුතරය නැත්නම් තමන් ගැන මහින්දට තීරණයක් ගන්න වෙනවා… ජනාධිපති මාධ්‍යයට කියයි…

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ විශ්වාසය දිනා ගැනීමට කුරුණෑගල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අසමත් වන්නේ නම් ඔහුට ඔහුගේ අගමැති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් 26 වනදා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින්, ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමේ කුමන්ත්‍රණයෙන් පසු මහින්ද රාපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ බහුතරය දිනා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වාර අවසාන කරන ලදී. ඉන් පසු රුපියල් කෝටි 50ට 60ට මන්ත්‍රීවරු මිලදී ගැනීමට තැත් කළ අතර එයින්ද පළක් නොවූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලදී.

බොහෝ මන්ත්‍රීවරුන්ට නීතීවිරෝධී කැබිනට් මණ්ඩලයේ ඇමති තනතුරු ලබා දුන් අතර ඔවුන් මධ්‍යම රාත්‍රියේ අමාත්‍යාංශ වෙත ගොස් වැඩ භාර ගැනීම්ද සිදු විය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට විරුද්ධව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අදාළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන ලදී.

එතැන් පටන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණ එකින් එක පරාජයට පත් වන්නට පටන්ගත් අතර පාර්ලිමේන්තුව විසිරුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුනීමේ අවසරයෙන් පාර්ලිමේන්තුව යළි කැඳවීමට ලක් විය. ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ අවස්ථා 04කදී මහින්ද රාජපක්ෂ මහතා බහුතර මන්ත්‍රීන්ගේ විශ්වාසය නොමැති බවට තහවුරු වී ඇති අතර විශ්වාසභංග දෙකකින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නීති විරෝධී කැබිනට් මණ්ඩලය පරාජයට පත්ව ඇත.

ඔක්තොම්බර් 26 සිද්ධියෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පුවත්පතක් සමග පැවැත්වූ පළමු සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග වන අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් යළි කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දීමට සූදානම් නැති බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ප්‍රකාශ තුළින් ඉස්මතුවන කාරණය වන්නේ තම පුද්ගලික බල වුවමනාව වෙනුවෙන් ඔහු කුමන්ත්‍රණකාරී ලෙස සිදු කළ බල හුවමාරුව තහවුරු කර ගැනීමට තවමන් අසමත්ව ඇති බැවින් එම බලය රඳවා තබා ගැනීමේ කුමන්ත්‍රණය අසාර්ථකව ඇති බවයි. එම නිසා තමන්ට අඩු අවාසියක් වන අයුරින් සිය කුමන්ත්‍රණය අත්හැර දැමීමට මාන බලනවද මින් පැහැදිලි වේ.

තමන් කුමන්ත්‍රණකාරී ලෙසත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසත් බලයට පත්කළ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ බලය නොමැතිනම් ඔහුව ඉන් ඉවත් කර බහුතරය ඇති අයෙකට පාලන බලය ලබාදීම ජනාධිපතිවරයාගේ වගකීමක් වන අතර මහින්ද රාජපක්ෂ මහතා නීතිවිරෝධීව රැඳී සිටින ධුරයෙන් ස්වේච්චාවෙන්ම ඉවත්වන තුරු බලා සිටීම තුළින් සිදුවන්නේ රට තවදුරටත් අරාජිකත්වයටත් ජාත්‍යන්තරය ඉදිරියේ අවමානයටත් ලක්වීම පමණි.

Facebook
Twitter
LinkedIn