ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත. එහෙත් පොලිස්පතිවරයා මේ වනතෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බවත් මේ නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට අපහසුවී ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
මෙම කුමන්ත්‍රණය හෙළි කළේ යැයි පැවසෙන නාමල් කුමාර නැමැත්තා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ පිලෙන් තරඟ වදින බවට ඔහු විසින්ම ප්‍රකාශ කර ඇති අතර ඔහු පොලිස් සහ STF ආරක්ෂාව මධ්‍යයේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍යයන් හි ප්‍රචාරය වන්නටද විය.
මීට අමතරව එම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙකු බව තහවුරු කරමින් පසුගියදා වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම ඉන්දීය ජාතිකයා, විමල් වීරවංස මහතාගේ බිරිඳ ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බවටද පසුගිය දිනවලදී ලැබුණු අධිකරණ පුවත් මගින්ද අනාවරණය විය.
මෙහි තවත් චූදිතයෙකු බවට පත්ව තිබෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.
මේ අතර තමා ඝාතනය කිරීම සඳහා රෝ කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන බවට ජනාධිපතිවරයා පසුගිය දිනේක කැබිනට් මණ්ඩලයේදි ප්‍රකාශ කර තිබූ බවටද මාධ්‍ය වාර්තා ක තිබිණි. විශේෂයෙන් ද හින්දු පුවත්පත මෙය ඉතාමත් බරපතල ලෙස අනාවරණය කර තිබිණි. එම ප්‍රවෘත්තිය වැරදි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළද එම පුවත්වත් සිය ප්‍රවෘත්තිය නිවැරදි නොකළ අතර ඔවුන් පවසා තිබුනේ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ බවට පැහැදිලි තොරතුරු තමන් සතුව ඇති බවය.
මූලාශ්‍ර ලක්බිම










