පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු කොටහේන ප්‍රදේශයේදී පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකරුවෙකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් නැමැත්තාට රටින් පිටවීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට ලබන 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවා තිබූ නමුත් ඔහු නොපැමිණි අතර ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ වනවිටත අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට 27 වැනි දා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ ලිපිය අද (23) යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් ඇතුළු තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.










