2007 වසරේදී මාලබේ කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කරගෙන තිබේ.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉහත කී අභියාචනය අද (23) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි.
අදාළ අභියාචනය මීට පෙර කැඳවූ අවස්ථාවේදී එය පවත්වා ගෙනයාම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් මතුකර තිබිණි.
අදාළ නඩු විභාගය පසුගිය සඳුදා කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
ඒ අනුව අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.
ඊට අවසර ලබා දුන් අභියාචනාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගය තහවුරු කරන බව නිවේදනය කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අදාළ නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි අඟුරුවැල්ලේ ජිනානන්ද හිමි කියා සිටියේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත නීතිපතිවරයා එම අභියාචනය ඉදිරිපත් කර තිබූ බවය.
“අදාළ චෝදනාවලින් කොළඹ මහාධිකරණය ඥානසාර හිමියන් ඇතුළු අපි සියලු දෙනාම නිදොස් කොට නිදහස් කර තිබුණා. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව දේශපාලන අවශ්‍යතා මත තමන් වහන්සේ ඇතුළු විත්තිකරුවන් වරදකරු කොට දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කළා.
යහපාලන ආණ්ඩුවේ දේශපාලකයින්ගේ අවශ්‍යතා මතයි නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කළේ. ඊට එරෙහිව අපි මූලික විරෝධතා අධිකරණය හමුවේ ගොණු කර තිබුණා,” යනුවෙන් උන්වහන්සේ සඳහන් කර තිබේ.
‘කල්වාරි’ නැමති කිතුනු යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී පහර දී අලාභ හානි සිදු කළ බවට නැගුනු චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවති අතර පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය ඥානසාර හිමි ඇතුළු සෙසු විත්තිකරුවන් එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට නියම කර තිබිණි.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව මහාධිකරණ තීන්දුව අවලංගු කරන ලෙසත් ඉල්ලා තිබිණි.
වෙනත් අවස්ථාවකදී අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ 06 වසරක සිර දඬුවමක් නියම වී සිටිති.
අදාළ තීන්දුව අහෝසි කොට උන්වහන්සේ එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා තීන්දු කළේ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි කියා සිටියේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් බලාපොරොත්තු වන බවය.
ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය 19 වෙනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබිණි.
භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කණගාටුව ප්‍රකාශ කළ බව පසුව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් නිලධාරීන්ට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මූලාශ්‍ර බීබීසී සිංහල










