මහින්දට මෛත්‍රිපාලට හෝ රනිල්ට අපි උදව් කරන්නේ නැහැ

මහින්දට මෛත්‍රිපාලට හෝ රනිල්ට අපි උදව් කරන්නේ නැහැ

රනිල් වික්‍රමසිංහට මෛත්‍රිපාල සිරිසේනට හෝ මහින්ද රාජපක්ෂට කිසිදු ආකාරයක උදව්වක්, ආධාරයක් හෝ අනුග්‍රහයක් ජවිපෙ දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස තෝරා ගන්නේ නොමැති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

ලාල්කාන්ත මහතා පැවැසුවේ රනිල්, මෛත්‍රි, මහින්ද යන ත්‍රිත්වයම රටේ ඉදිරි දේශපාලන ගමනට හානියක් බවත් ජනතාවාදී නව පාලනයකට යෑමට දොරටු මේ මොහොතේ කඩිනමින් විවර කරගත යුතු බවත්ය.

මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ දේශපාලනයේ අවසන් හුස්ම පොද හෙළමින් සිටින අතර ඉදිරියේදී ලොව කනගාටුදායකම හා අසරණම ජනාධිපති ලෙස ඔහුගේ නම කිව්වේ යැයි සිතන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (30) රජයේ මුද්‍රණාලයේ පැවැති රජයේ මුද්‍රණ කාර්ය මණ්ඩලය පෙළගස්වන 14 වැනි නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සමුළුව ඇමතූ ලාල්කාන්ත මහතා…

2015 ජනවාරි (08) ලැබුණු ජනවරම රනිල් – මෛත්‍රි දෙන්නා අමු අමුවේ පාවා දුන්නා. ඒ වගේම රනිල්, මෛත්‍රි එකතු වෙලා ව්‍යවස්ථාවත් අමු අමුවේ උල්ලංඝනය කළා. දැන් මහින්ද අගමැති කළ හැටියෙම ඇයි පාර්ලිමේන්තුව වැහුවේ? හේතුව තමන්ට සුළුතරයක් තිබෙන බව මහින්ද කණ්ඩායම දන්නවා. දැන් 113ක් හදමින් ඉන්නවා. ඒක වෙනුවෙන් මුදල්වලට මන්ත්‍රි හුවමාරුවක් වෙනවා. සමහරු දෙපැත්තෙන්ම සල්ලි අරන් තමන්ට කැමැති පැත්තට පනිනවා. එහෙම අයියලායි අද ඉන්නෙ.

මේ අය විශේෂයෙන්ම ආවේ බලය වෙනුවෙන් නෙවේ. ධනය රැස් කරගැනීමයි මේ අයගේ ලොකුම අරමුණ. අපි කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් ජනවරමකට ඉක්මනින් යා යුතුයි කියලා. මොකද ජනතාව දැන් ඉන්නෙ 2015 ජනවාරි 8දා සිටිය තැන නෙවෙයි. ඒ නිසා ජනතාවට නව පාලනයක් වෙනුවෙන් ඡන්දයකට යා යුතුයි.

දැන් තියෙන තත්ත්වය එක්ක පාර්ලිමේන්තු ඡන්දයකට ගියොත් මෛත්‍රි කුණු ගොඩටම විසි වෙනවා. ඒ නිසා ඔහු කැමැති ඇති කෙළින්ම ජනාධිපතිවරණයකට ගිහින් බලය තහවුරු කරගන්න. මේ යන විදියට රනිල් පැත්තකම තියලා මෛත්‍රි – මහින්ද හවුල් ආණ්ඩුව ටික දවසක් දුවලා ඊළඟ අය වැයෙන් මොනවා හරි ටිකක් දීලා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යන්න සූදානමක් තියෙන්නත් පුළුවන්.

හැබැයි අපි එක දෙයක් කියනවා. මෛත්‍රිගෙ දේශපාලනයේ අන්තිම හුස්ම පොද මේ හෙළන්නෙ. ලොව අසරණම, කනගාටුදායක තත්ත්වයට පත් වූ ජනාධිපති කියලා ලොකු බෝඩ් එකක් ගහන්න වෙනවා මේ දේශපාලන සූදුව නිසා. මහින්ද රාජපක්ෂලා තමන්ගේ බලය ගොඩනැඟූ පසු මෛත්‍රිගේ පුළුටක්වත් ඉතිරි කරන්නෙ නැහැ.

පාළාත් සභා මැතිවරණය තියන්න නීතියක් මේ මොහොතෙ ලංකාවේ නැහැ. මේක මහ අමුතු රටක්. ඡන්ද නීතිය සම්පූර්ණ නැහැ. ඡන්දෙ තියන්න නම් උත්තර 2යි තියෙන්නෙ. එක්කෝ සීමානිර්ණ වාර්තාව ගැසට් කළ යුතුයි. නැත්නම් පරණ ක්‍රමයටම ඡන්දෙට යන්න ඕනෑ කියලා නීතියක් සම්මත කළ යුතුයි.

අද ජනාධිපතිවරයා අත්තනෝමතිකව පාර්ලිමේන්තුව කල්දාලා. පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලේ රටම ලේ විලක් වුණේ අවුරුදු 5කට අණ්ඩු කාලය දීර්ඝ කරගත්ත හොර ජනමත විචාරණයක් තිබ්බ නිසයි. හේතුවක් නැතිව රටේ දේශපාලන පක්ෂ තහනම් කළා. 1980 කළු ජූලියක් නිර්මාණය කළා. ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් බවට පත් කළා. අද මොනවා වෙයිද කියන්න අපි දන්නෙ නැහැ. බලය, ධනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මහත්තුරු ටිකක් අද රට පාලනය කරන්නෙ. මේ මජර, ජඩ, තුච්ච දේශපාලනය පොදු ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි.

රනිල්ලා, මෛත්‍රිලා, මහින්දලා මේ කරන දේවල් සෙල්ලමක් නොවෙයි. ඒක තේරුම් අරගෙන ජන මතයක්, ජන බලයක් ගොඩනඟන්න අපි පෙළගැසිය යුතුයි. ඊට ශක්තිමත් ප්‍රබල එකතුවක් ඕනෑ.”

අනුරාධා හේරත්

Facebook
Twitter
LinkedIn