ඉස්සන් වගාවත් අර්බුදයට

ඉස්සන් වගාවත් අර්බුදයට

අපනයනය සඳහා වගා කරන ලද ඉස්සන් ටොන් 2000ක පමණ ප්‍රමාණයක් විකුණා ගත නොහැකි වී  ඇතැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය බහුල වශයෙන් සිදුකරන පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනියේ සිට මදුරන්කුලිය දක්වා ඇති ප්‍රදේශවල පිහිටි ඉස්සන් පොකුණු දහසකට ආසන්න ප්‍රමාණයක නිෂ්පාදනය වූ ඉස්සන් මෙලෙස විකුණා ගත නොහැකිව තිබේ.

මේ හේතුවෙන් අපනයනය සඳහා ඉස්සන් වගා කිරීමේ නිරත වූ ගොවිනට ගැටළු රැසකට මුහුණ දීමටද සිදුව ඇත.

ඉන් ප්‍රධාන වන්නේ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් අද වන විට උදා වී තිබීමයි.

ඉස්සන් කිලෝවක මිල රුපියල් දෙසිය පනහකින් පමණ පහල බැස තිබීම මේ තත්ත්වයට හේතු වී ඇති බව මේ පිළිබඳ කළ විමසීමේදී  ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ විධායක කමිටු සාමාජික නිමල් පතිරණ මහතා පැවසිය.

ඉස්සන් කර්මාන්තය ආරම්භ වී වසර තිහක් ගත වුවත් ඉස්සන් කිලෝවක මිල ඉහළ නොයෑම මේ කර්මාන්තයේ පැහැදිලි කඩා වැටීමට හේතුව බව නිමල් පතිරණ මහතා වැඩිදුරටත් පැවසිය.

අපනයනය සඳහා ඉස්සන් මිලදී ගන්නා ආයතන ශ්‍රී ලංකාවේ ඉතා අල්ප ප්‍රමාණයක් පැවතීම හා රජය පුර්ණ වශයෙන් මේ සඳහා මැදිහත් නොවීම මේ මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ඉස්සන් වගාකරුවෙකු වන ජනක චන්ද්‍රසිරිමහතා පැවසිය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉස්සන් මිල පමණක් පහළ ගිහින් අනෙක් සියලු දේ ඉහළ ගොස් ඇති බවයි.

‍විශේ‍ෂයෙන් ආහාර මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු මෙහිදීකියා සිටියේය.

රටට විදේශ විනිමය ලබා දෙන සුළු කර්මාන්ත කෙරෙහි රජයේ අවධානය අඩුවීම මෙලෙස තම නිෂ්පාදන මිල පහළ බැසීමට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ අධ්‍යක්ෂක ඇම්.ඒ තෝමස් මහතා පැවසිය.

මූලාශ්‍ර දෙරණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්