ආණ්ඩුව බලයට පත් වූ විගස ආර්ථික කළමනාකරණ කමිටුවක් පත් කළේය. කැබිනට් මණ්ඩලයට පිටින් පිහිට වූ මෙය සැබැවින්ම කැබිනට්ටුවේ බලයටත් එහා ගිය බලයක් පාවිච්චි කළේය. සියලුම ආර්ථික ව්‍යාපෘති පිළිබඳ තීන්දු ගත්තේ එතනින්ය. ආර්ථිකයට අදාළ බොහෝ මෙගා වැඩ සැලසුම් කළෝද එතනින්ය. ඒ කමිටුව කියන්නේ රනිල්, මලික්, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වැනි රෝයල් කල්ලියයි. හැම ඇමති කෙනෙක්ම තමන්ගේ ව්‍යාපෘති මේ කමිටුවෙන් සම්මත කරගත යුතුය තිබුණි. මෛත‍්‍රී මැදිහත් වුණු ව්‍යාපෘති පවා මේ මගින් අනුමත විය යුතු විය. මෛත‍්‍රීගේ බෑනා මැදිහත් වුණේ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් රනිල්ගේ රෝයල් කල්ලියෙන් ප‍්‍රතික්ෂේප කළේය. මෙවැනි බොහෝ දේවල් සිද්ධ වුණි.
මේ නිසාම මෛත‍්‍රී හිටියේ මේ කමිටුවට වැඩේ දෙන්න බලාගෙනය. ඒකට හොඳ අවස්ථාවක් එනතුරු මෛත‍්‍රී බොහොම අමාරුවෙන් ඉවසාගෙන සිටියේය. අන්තිමේදී මෛත‍්‍රීට හොඳම අවස්ථාවක් ලැබුණේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයයි. ඡන්දයෙන් හොඳටම පරාද වෙච්ච යූඑන්පිය ආණ්ඩුව ඇතුළේද ඡන්ද පරාදවෙලා සිටියේය. ඒ අවස්ථාව වාසියට ගත්ත මෛත‍්‍රී මේ කමිටුව සතපහකටවත් ගණන් ගන්නේ නැහැ යයි කියමින් අලුතින් ‘ජාතික ආර්ථික සභාව’ නමැති කමිටුවක් පත් කළේය. ඒකට රනිල්ද ඇතුළත් කර ගත්තේය. එහෙත් එහි ප‍්‍රධානියා වුණේ මෛත‍්‍රීය. කලින් පිහිටවූ කළමනාකරණ කමිටුවේ ප‍්‍රධානියා රනිල්ය. කොටින්ම ගත්තොත් රනිල්ගේ අතේ තිබ්බ බලය මෛත‍්‍රීගේ අතට ගත්තේය. ඊට පස්සේ ආණ්ඩුවේ සියලුම ආර්ථික කටයුතු මේ සභාව මගින්ම කළ යුතු බවට තීන්දුවක්ද ගත්තේය.
දැන් යූඑන්පියේ තුෂාර මන්ත‍්‍රීවරයා ආර්ථික සභාවෙන් ගත් තීන්දු තීරණ මොනවාදැයි ප‍්‍රශ්න කරයි. සැබැවින්ම මේ තුෂාර නොවේය. මේ ප‍්‍රශ්නය අහන්නේ රනිල්ය. රනිල්ට කෙළින්ම අහන්න බැරි නිසා තුෂාර මන්ත‍්‍රීවරයා ලවා අස්සවන්නේය. රනිල් ආණ්ඩුව ඇතුළෙ ගොඩක් දේවල් කරන්නේ එලෙසින්ය. ආණ්ඩුව ඇතුළෙ විතරක් නෙවෙයි පක්ෂය ඇතුළෙත් එහෙමය. එදා මෛත‍්‍රී කිව්වේ “ආර්ථිකය මෙච්චර කාලයක් මෙහෙයවූයේ මම නෙවෙයි. පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ ඒ වැඩේ මගේ අතට ගන්නවා” කියාය. කිව්ව විදිහටම බලය ගත්තේය. රනිල් දැන් මෛත‍්‍රීගෙන් අහන්නේ “කෝ ඔහේ අතට අරගෙන වැඩේ කරාද?” කියාය. මෛත‍්‍රී ආර්ථිකය අතට ගත්තයි කියලා වෙනසක් වුණේ නැත. කලින් වගේම ණය කන්ද තවත් ඉහළට නැග්ගේය. කලින් වගේම තව තවත් වේගයෙන් රුපියල කඩාගෙන වැටුණේය. බඩු මිල ඉහළ නැග්ගේය. මෛත‍්‍රී ආර්ථිකය අතට ගත්තාට පස්සේ අලුතින් හැම මාසෙකම තෙල් මිලත් වැඩි වුණේය. රනිල් අගමැතිවරයා තුෂාර මන්ත‍්‍රීවරයා ලවා දැන් මේ අහන්නේ ඒකය. මෛත‍්‍රී හිරවෙලාය. රුපියල බහින බැහිල්ලට මෛත‍්‍රීට උත්තර නැත. මෛත‍්‍රීට වගේම හිටපු මහින්ද රාජපක්ෂටත් උත්තර නැත. මේ දෙගොල්ලටම පමණක් නොව රනිල්ලාටද ඊට උත්තර නැත. ආර්ථිකය අතට ගත්තැයි කියලා කරපු දෙයක් නැති නිසා දෙන්න උත්තරයක් කිසිවෙකුටත් නැත.
මිල සූත‍්‍රය දැම්මාට තවමත් කැබිනට් එකේ ඇමතිවරුන්වත් මේක දැකලා නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පෙන්නන්න කියලා කොච්චර කීවත් තවමත් පෙන්නුවේ නැත. මාධ්‍යකරුවන්ට පෙන්නුවේද නැත. අඩුම ගානේ පත්තරකාරයෙකුට දෙන්නෙකුට පෙන්නුවා නම්, මෛත‍්‍රීට පත්තරයක්වත් බලාගන්නට තිබුණේය. මෙහෙම බලනකොට තවමත් මේ සූත‍්‍රය දැකපු කෙනෙක් නැත. ඒ නිසාම දෝ තරහ ගිය මෛත‍්‍රී ඇමෙරිකාවේ නිව්යෝර්ක්වල ඉඳලා මෙය අහෝසි කරන බව කීවේය. ඒත් එහෙ ඉඳලා ඇවිල්ලා දැන් සෑහෙන කාලයෙක් ගෙවී ගොස්ය. ඔක්තෝබර් මාසේ 10 වෙනිදාත් එන්නේය. ආපහු සැරයක් සූත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේය. ඒත් මෛත‍්‍රී කියපු දේ මෛත‍්‍රීටම කරගන්න බැරුව ඉන්නේය. මේ කනේ පාර දුන්නේ මංගලටය. මංගල ගෙනාපු සූත‍්‍රය මෛත‍්‍රී අහෝසි කරනවා කීවේ මංගලට වඩා තමන් ජනතාව ගැන හිතනවා යැයි පෙන්වීමටය. කොහොම වුණත් මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව ඇතුළෙ එකඟත්වයක් නැතිකමය.
කවුරු කොහොම කීවත් ජනතාව ඉන්නේ හොඳටම අමාරුවෙන්ය. බදු පිට බදු ගහලා, තෙල් මිල වැඩිකරලා, බඩු මිල වැඩි කරලා, බස් ගාස්තු වැඩි කරලා, කෝච්චි ගාස්තු වැඩි කරලා, ගෑස් මිල වැඩි කරලා ජීවත් වන්න බැරිම තත්ත්වයකට ඇද වට්ටලාය. ඒ නිසා ජනතාව කේන්තියෙන් ඉන්නේ වෙන වෙනම මංගල හෝ මෛත‍්‍රී හෝ එක්ක නොවේය. මුළු ආණ්ඩුවම ගැන ඉන්නේ කේන්තියෙන්ය. ආර්ථිකය මෙහෙයවන්නේ රනිල්ද, මෛත‍්‍රීද යන්න ජනතාවට අදාළ නැත. කවුරු මෙහෙයවූවත් අන්තිමේදී ආර්ථිකය කඩා වැටිිලාය. මේකට සමස්ත ආණ්ඩුවම වගකියන්න ඕනෑය. ඒකෙන් ගැලවෙන්න ආණ්ඩුවට හැකියාවක් නැත්තේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ටොන් ගණනක් විසිකර දැම්මේය. එහෙ එච්චර එළවළු විසිකරද්දී අනෙක් හැම තැනම එළවළු ගිනි ගණන්ය. තක්කාලි ටික, බෝංචි ටික කුණු කරන්නේ නැතිව කොළඹට පටවා ගන්න බැරි ආණ්ඩුවක් රටේම ආර්ථිකය මෙහෙයවන්නේ කොහොමද? ඒවාට තීන්දු තීරණ ගන්න බැරි ජාතික ආර්ථික සභාවක් මොකටද? ජනතාවට ඇත්තේ ඒ ප‍්‍රශ්නයයි. අම්පාරෙ, පොළොන්නරුවෙ, දෙහිඅත්තකණ්ඩියේ ගොවියො වී ටික විකුණගන්න විදිහක් නැතිව පාරට බහින්නේ මේ නිසාය. හරියටම ගත්තොත් වීවලට සහතික මිලක් දැම්මේ මීට අවුරුදු තුනකට කලින්ය. ගෙවිච්ච අවුරුදු තුන ඇතුළෙ තෙල් මිල වැඩිවෙලා, බෙහෙත් මිල වැඩිවෙලා, වියදම් වැඩි වෙලාය. ඒකට අනුව වී මිලත් වැඩි වන්නට ඕනෑය. නමුත්, එහෙම දෙයක් වෙලා නැත. ජාතික ආර්ථික සභාව වීවල සහතික මිල වැඩිකරන තීන්දුවක් මෙතුවක් කල් අරගත්තේ නැත. හරිනම් ගොයම් කපන්න කලින් මේ සභාවෙන් ඒ තීරණය ගත යුතුව ඇත. එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියන එක පත්තරෙන්ම දකිනකම් ඉන්න අවශ්‍ය වන්නේ නැත. පොළොන්නරුවේ ගොවියෙක් නිසා කල් ඇතිව තේරුම් ගන්න ඕනෑය. දැන් වී මණ්ඩලය කියන්නේ මෙදා වී ඇටයක්වත් මණ්ඩලයට ලැබුණේ නැති බවය. ඒ කියන්නේ ඩඩ්ලියි, නිපුනයි ඔක්කොම වී ටික ගත්තා විය හැකිය.
ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩිකළා කීවේ සියයට පහළොවකින්ය. ඒත් ටිකට් අරගෙන බැලුවාම සියයට තිස් පහකින්, පනහකින් වැඩිකරලාය. ඒකත් එක එක තැන එක එක විදිහටය. එක තැනකින් මොකක් හෝ අනුපාතයකින් එය සිදු කර නැත. අඩුම ගානේ වැඩිකරන එකවත් පිළිගත හැකි ක‍්‍රමවේදයකට සිදුකර නැත. ආණ්ඩුවට එහෙම දෙයක්වත් හරියට කරගන්න බැරි බව මේවායින් පැහැදිලිය. මේ බැරිකම එක එක්කෙනා මත පටවන්න හදන්නේ ජනතා විරෝධයෙන් ගැලවෙන්නටය. මෛත‍්‍රී කියන්නේ රනිල් හින්දා මොකොවත් කරගන්න බැහැ කියාය. රනිල් කියන්නේ මෛත‍්‍රී හින්දා මොකොවත් කරගන්න බැහැ කියාය. මුළු ශ‍්‍රීලනිපයේම අය දොස් කියන්නේ යූඑන්පියටය. යූඑන්පියේ අය දොස් කියන්නේ ශ‍්‍රීලනිපයටය. ඉවත් වෙච්ච දහසය දෙනා එළිපිටම බනින්නේත් යූඑන්පියටය. ලිච්ඡවී යහපාලනයක් සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සියල්ල සිද්ධවෙනවා කීවාට නැත්තේත් ඒකමය. කිසිදෙයක් සාකච්ඡාවෙන්, එකඟතාවයෙන් සිද්ධ වන්නේ නැත. දැන් ආණ්ඩුව යන්නේ යන්නන් වාලේ ඔහේ ඉබාගාතේ අයාලයේය. කරන කියන දේවල්වලින් ඒ බව හරි පැහැදිලිය.
ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැරි ආණ්ඩුව තම තමන්ගේ ප‍්‍රශ්න නම් හොඳින් විසඳා ගන්නේය. රනිල්ට යන්න රුපියල් කෝටි තිහ ගානේ වෙඩි නොවදින වාහන දෙකක්ම මිලදී ගත්තේය. අනෙක් ඇමති රොත්තත් ආපු ගමන්ම කෝටි ගාණක නිල වාහනයයි, ගෙදරයි හදා ගත්තේය. වැඩ බැරි රනිල් මහ බැංකුව කොල්ලකන එක නම් ඉස් ඉස්සෙල්ලාම කරගත්තේය. මන්ත‍්‍රීවරුන්ට දෙන වාහනය මෛත‍්‍රීත් ගත්ත බවක් කියවේ. රටේ මෙච්චර බරපතළ ආර්ථික ප‍්‍රශ්න තියෙන වෙලාවේ යුරෝ මිලියන විසි පහක කප්පමක් ආණ්ඩුවේම ඇමතිවරු දෙන්නෙක් ගත්ත කතාවක් ආරංචිය. දැනටමත් මේ කෝටි පන්සීයක් වන මුදලෙන් බාගයක් ඒ අයගේ ගිණුම්වලට දාලා තියෙන බව ආරංචිය. ඒ වැඩේ කරලා තියෙන්නේ මලික් සහ සුජීව කියලා තමයි කවුරු කවුරුත් කතා වෙන්නේ. දුමින්ද දිසානායක කෙළින්ම කියනවා “ඒ සල්ලි ගත්තේ කොයි ඇමතිද කියලා කියන්න” කියලා. ඒ චෝදනාව යන්නෙත් යූඑන්පී එකට. රටේ ප‍්‍රශ්න විසඳන්න පත් කරපු කමිටුවලින් රටට වැඩක් කෙරෙන්න කලින් තම තමන්ට වැඩක් කරගෙන බව මෙයින් ඔප්පු වෙනවාය. වැඩ බැරි ආණ්ඩුව කියන්නේ ජනතාවට වැඩකරන්න බැහැ කියන එකය. තම තමන්ගේ වැඩකරගන්න එක යස අපූරුවට කරගන්නවාය. ඒ වයේදී හොඳට වැඩ පුළුවන් කියන එක තමයි පෙන්වන්නේ. මේ පුළුවන්කම රට හදන්න යෙදෙව්වා නම් කොච්චර අගේද?
ආණ්ඩුව දවසින් දවස ජනතාව පීඩාවට පත්කිරීමත් එක්ක බරපතළ ජනතා විරෝධයක් ආණ්ඩුවට එරෙහිව නැගී ඇත. ඒත් මේ ගැන වගේ වගක් නැති ආණ්ඩුව වල්පල් දොඩව දොඩවා කාලේ ගෙවා දැමීම තවත් වටයකින් ජනතා විරෝධය වැඩිකර ඇත. ජනතාව ආණ්ඩුවට බණිනකොට ආණ්ඩුව කරන්නේ එක එක්කෙනා මත වරද පැටවීමය. පරාජයේදී අයිතිකාරයෙක් නැත. තත්ත්වය අනෙක් පැත්ත වුණා නම් අයිතිකාරයෝ ගොඩකි. යුද්ධය අවසන් කරපු එකට අයිතිකාරයෝ ගොඩකි. සරත් ෆොන්සේකා, ගෝඨාභය, මහින්ද ඒ අතරට දැන් මෛත‍්‍රී එකතු වී ඇත. යුද්ධෙ අන්තිම සති දෙකේ වැඩබලන ආරක්ෂක ඇමති විදිහට එතුමා හිටියා කියලා ළඟදි ප‍්‍රසිද්ධියේ කිව්වේ තමන්ද එහි අයිතිකරු බව කියන්නටය. ඒත් දැන් මේ තියෙන ආර්ථික පරාජයට අයිතිවාසිකම් කියන්න කවුරුවත් ඉදිරිපත් වන්නේ නැත.
එහෙම නැතිි වුණාට හැමෝම දැන් වැඩකරන්නේ ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනය. මෛත‍්‍රී ඔක්කොම වැරදි ටික රනිල් පිටේ පටවලා පුළුවන් නම් රාජපක්ෂලා එක්ක එකතුවෙලා හරි ඊළඟ සැරේ එන විදිහක් හිතන්නේය. මේ කණ්ඩායම් අතර සාකච්ඡා පැවැත්වුණ බවද ආරංචිය. දෙගොල්ලො එකතු වුණේ නැත්නම් දෙගොල්ලොම අනාථයි කියලා දෙපැත්තෙම අය කතා වෙනවාය. ඒ නිසා කොහොම හරි එකතු වෙන්න උප්පරවැට්ටියක් හදාගන්න ඕනෑ බව දෙපැත්තෙම ඉන්න බොහෝ අයගේ අදහසය. ඒ වෙනුවෙන් දැන් තියාම වැඩ පටන් ගන්න ඕනි නිසා සාකච්ඡා පැවැත් වූ බව කියවේ. ඒත් ඒකට හරස් කපන කණ්ඩායමක්ද දෙපැත්තේම ඉන්න නිසා හිතන තරම් වැඩේ පහසුත් නැත. මෛත‍්‍රී එහෙම දෙයක් කරගත්තේ නැත්නම් ඊළඟ වතාවේ අනාථ වෙලා යන බව ස්ථිරය. ඒ නිසා ඒකට ගැලපෙන හැසිරීමක් පෙන්නුම් කරන්න දැන් තියාම ලෑස්තිය. එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ලා කරන්න හිටපු කතාව කරපු කතාව නොවේ යැයි කියන්නේ ඒගොල්ලන්ගෙම අයයි. කරන්න හිටපු කතාව සම්පූර්ණයෙන්ම දේශප්‍රේමී ලයින් එකේ එකක්ය. ඒ ඊළඟ ඡන්දය ඉලක්ක කර ගත්ත එකක්ය. කොහොම නමුත්, රනිල් මැදිහත් වෙලා ඒක නතර කරපු බවක් ආරංචිය. මෛත්‍රී එහෙම කරද්දී යූඑන්පියත් ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩපටන්ගෙන ඇත. රනිල් හිතන්නේ එයාලට දිනන්න පුළුවන් එකම ඡන්දය ජනාධිපතිවරණය කියාය. පළාත් සභා ඡන්දෙදිත් තවත් ලොකු පරාජයක් වෙන බව ඒ අයගෙම මතයයි. ජනාධිපතිවරණයට ගෝඨාභය ආවොත් මුස්ලිිම්, දෙමළ ඡන්ද ගන්න බැරි නිසා ඒ වාසිය රනිල්ට එයි කියා ඔහු හිතන්නේය. දැන් ඒ ගැන හිතාගෙන මේ ආණ්ඩුවේ වැරදි මෛත‍්‍රීගේ පිටේ පටවලා ඇඟ බේරගන්න උත්සාහයක ඉන්නේය. තුෂාර මන්ත‍්‍රීවරයාව දාලා ආර්ථික සභාව ගැන ප‍්‍රශ්න අස්සවන්නේ ඒකටය.
පහුගිය උද්ඝෝෂණය මඟ හැරලා ගිය බැසිල් ආපු ගමන් ජනාධිපතිවරණය ඉලක්ක කරගත්ත වැඩකට බැස්ස බව ආරංචියි. ජාතිවාදී කල්ලි මොන මොනවා කියලා සද්දෙ දැම්මත් දෙමළ හා මුස්ලිම් ඡන්ද නැතිව දිනන්න බැහැ කියලා බැසිල් දන්නේය. ඒ නිසාම උතුර හා නැගෙනහිර ඉලක්ක කරලා වැඩකට බහින්න ඕනෑ යන කතාවක් කියා ඇත. ඒ ජනතාව දිනාගන්න බැරි නිසා පහසුම වැඩේ මන්ත‍්‍රීවරු දිනාගන්න එකය. කොහොමත් හකීම්ලා, රිෂාද්ලා වාසි පැත්තට පනිනවාය. බැසිල් දැන් කුරුමානම අල්ලන්නේ ඒ පැත්තටය. ගෝඨාභය වගේ කෙනෙක් දැම්මොත් මේ වැඩේ කරගන්න බැරි බව හරියට තක්සේරු කරලා ඒක වලක්වන්න ඇතුළෙන්ම ගේම දෙන්නේ ඒ නිසාය. කොහොම නමුත් රටේ පාලනය වෙනස් කරන තීරණාත්මක සාධකය ජනාධිපතිවරණය නිසා ඒ ගැන හිතපු වැඩකට අත ගහලා තියෙන බව පැහැදිලිය.
ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මේ හැමෝගෙම පාලනය හොඳ හැටි පුරුදුය. කවුුරු කවුරුත් කළේ එකම දේය. ඒ පැත්තෙන් මේ පැත්තට මාරු වෙවී ආපු ජනතාව දැන් ඉල්ලන්නේ අලුත්ම අලුත් දෙයකි. දේශපාලනයේ සැබෑම වෙනස්කමකි. එය හුදෙක් පුද්ගල හුවමාරුවකට එහා ගිය එකකි. ආණ්ඩු මාරුවකට එහා ගිය එකකි. සමස්ත ආර්ථික දේශපාලන ක‍්‍රමයේම වෙනසකි. මොන ආර්ථික කමිටු දැම්මත් මේ කුණු වෙච්ච කුණු ගොඩ, ගොඩගන්න බැරි බව පැහැදිලිය. ඒ සඳහා දිගු කාලීන, කෙටි කාලීන සැලැස්මක් මත ඉදිරියට යන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යමය. ජනතාව දෑස් යොමුකර ඇත්තේ ඒ දිශාවටය. ජනතාව වෙනස් වෙන්න ඕනෑ යයි කියන්නේද ඒ නිසාමය. මෙච්චර කාලයක් අපි ආණ්ඩු වෙනස් කරා, අපි වෙනස් වුණේ නැහැ. දැන් අපි වෙනස් වෙනවා යැයි කියන්නේ මේ කතාවය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිදුවන්නේ නම්, මෙච්චර කාලයක් තිස්සේ වැටිච්ච රට ගොඩගන්නට යන්නේ ටික කාලයක්ය. එය කළ නොහැක්කක් නොවේය. කළ හැකි දෙයකි.
ලංකා ඉරිදා සංග්‍රහය










