සිසු අයිතීන් මුල් කරගනිමින් කොළඹදී ඊයේ (21) පැවැති විරෝධතා පාගමනට එල්ල වු ප්‍රහාරය හෙලා දකිමින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු අද (22) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනකුගේ පංති තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම්, විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයන්ට වසර එක හමාරක පමණ කාලයක් කිසිදු විභාගයකට ඉදිරිපත්වීමට අවසර නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාල සිසුහු ඊයේ කොළඹදී එම උද්ඝෝෂණය පැවැත්වුහ.
එම පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් සටන් පාඨ පුවරු රැගත් එක්දහස් පන්සියයකට ආසන්න සිසු පිරිසක් සබරගමු විශ්වවිද්‍යාලයීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයෙහි නිරත වුහ.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මහතා සඳහන් කළේ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සාකච්ඡා කිරීමට මාධ්‍ය ඉදිරියට පැමිණිමට යැයි සිසුන්ට ආරාධනා කළත් සාකච්ඡා පවත්වන්න ගිය විටදී පහරදිම් සිදු කරන බවයි.
එය පිළිකුලෙන් යුතුව හෙලා දකින් බවත් සිසුන්ට පහරදීම් සහ අවලාද නැගීම් නතර කර සිසුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහාම විසඳුම් ලබාදීමට කටයුතු කරණ ලෙසත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මහතා ඇමතිවරයාට අවධාරණය කළේ ය.













