රන්ජන් අධිකරණයට අපහාස කළ බවට වන චෝදනා විභාගයට දින නියම වේ

සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය අද(8) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට භාර දෙනු ලැබීය.

එල්ලවී ඇති චෝදනා සම්බන්ධව තමා නිවරදිකරු බව රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර චෝදනා සම්බන්ධව නඩු විභාගය සැප්තැම්බර් 5 වැනි දිනට කල් දැමුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාර ප‍්‍රදීප් මහමුතුගල මහතා විසින් විත්තිකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත‍්‍රය විවෘත අධිකරණය හමුවේ කියවා බාර දෙන ලදී.

එම චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ටාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුව්ම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

Facebook
Twitter
LinkedIn