ලොතරැයි අලෙවි නියෝජිතයන් වෙත ලබා දෙන කොමිස් මුදල දින 14ක කාලය තුළ ඉහළ නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසර තුනක කාලය තුළ ජනාධිපතිවරයා සහ බලධාරීන් අවස්ථා දෙකකදී අලෙවි නියෝජිතයින් වෙත ලබා දෙන කොමිස් මුදල ඉහළ දමන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටුවී නොමැති බව එම සංගමය පවසයි.
2011 වසරේ සිට තමන්ට ලැබෙන කොමිස් මුදල ශත 25කින් ඉහළ දමන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද බලධාරීන් ඒ සඳහා මෙතෙක් විසඳුමක් ලබා දී නොමැත. එසේම පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන වහාම ලබා දුන් පොරොන්දු ඉටුකරන්නැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ ලොතරැයි මණ්ඩල දෙකම වාර්ශිකව රුපියල් කෝට් ගණනක් අනවශ්‍ය වියදම් සඳහා යෙදවූවද ලොතරැයි මන්ඩලයට ආදායම් උපයා ගැනීමට දායක වන අලෙවි නියෝජිතවරුන්ගේ කොමිස් මුදල ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි. එසේම 2009 වසරෙන් පසු මේ දක්වා කොතෙක් ජීවන වියදම ඉහළ ගියද ලැබෙන කොමිස් මුදල ඉහළ දමා නැතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.










