පරපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ඔහුගේ සිර මැදිරිය තුළ තිබී සොයාගත් සිම්කාඩ් පත්වල දත්ත විශ්ලේෂණයේදී විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව අද(19) අධිකරණයට දැනුම් දී තිබේ.
මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ නඩු විභාගය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ සලකා බැලුනු අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිට ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී සිටියේ අදාල සිම්කාඩ් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා එම කරුණු නියමිත අධිකරණවලට වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකු බැදුම්කර වෙන්දේසිවලදී නියමිත මධ්‍යම තැන්පතු ක්‍රමය අනුගමනය නොකර නීති විරෝධී ආකාරයට ගනුදෙනු සිදුකර ඇති බවය.
එබැවින් එම සමාගම මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර සඳහන් කලේ ය.
එසේම බැදුම්කර වෙන්දේසියේදී උපයාගත් මුදල් රහස්‍ය තොරතුරු ලබාදීමට අදාර අනුබල දුන් තුන්වන පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරිපත් කරන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගම් 5කට මේ වන විට නියෝග නිකුත් කර තිබුන ද මෙතෙක් එම සමාගම් සමූහයේ සභාපතිවරයා වන ජෙෆ්රි ඇලෝසියස් නියෝග පිලිපැද නැති ව අද අනාවරණය විය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක අධිකරණයට දැනුම් දී සිටියේ අධිකරණය ලබා ගත් සෝදිසි වරෙන්තු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලිපිලේඛන හා පර්ගණක යන්ත්‍ර ඔවුන් භාරයට ගෙන ඇති බවයි. මේ හේතුවෙන් අදාල තොරතුරු ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව නීතීඥවරයා ප්‍රකාශ කළේ ය.










