මහේන්ද්‍රන් ගැන අනුර අගමැතිගෙන් ප්‍රශ්න කරයි

මහේන්ද්‍රන් ගැන අනුර අගමැතිගෙන් ප්‍රශ්න කරයි

මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසියේදී සිදුවු වංචාවට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වාගැනීමේ වගකීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව පෙන්වා දෙමින් සහ ඔහුව ගෙන්වා ගැනීම කඩිනම් නොකිරීම සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් දෙදෙනෙකු වන මෙරට අධිකරණයට අවශ්‍යව සිටින ජාලිය වික්‍රමසූරිය සහ උදයංග වීරතුංග සම්බන්ධයෙන් විශ්‍රාමික ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ආකාරයත් එක සමාන යැයිද අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සහ අනුර දිසානායක මහතා අතර ඇති වූ සංවාදය පහතින් පල වේ…

අනුර දිසානායක මහතා :-  කතානායකතුමනි, දෙපාර්ශවයම පාර්ලිමේන්තුවට නොකියා බොහෝ දේවල් කරන බව තමයි පේන්නේ. මම අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග සහ අර්ජුන් මහේන්ද්‍රන් ඔවුන් තිදෙනා මෙරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති පියවර කවරේද ?

අගමැතිවරයා :- උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පනය කිරීම සඳහා ඉල්ලීමක් ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2018 අප්‍රේල් 25 වැනිදා අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට උදර්පනය කර ගැනීම පිණිස උදර්පන නීතිය අනුව මෙරට බලධාරීයා වන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලීමක් යොමුකර ඇති බව වාර්තා වී තිබෙනවා.

අනුර දිසානායක මහතා :-  අර්ජුන් ඇලෝසියස් මහ රාත්‍රියේ කණ්ඩායමක් එක්ක ගිහිල්ලා මහ බැංකුවට කඩා පැන එහි මුදල් මංකොල්ල කෑවා නෙවෙයි. එහෙම නම් එයා පමණයි හොරා. හැබැයි මේ ගණුදෙනුව සිදුවී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයාගේ නිශ්චිත සහය සහ මැදිහත්වීම මත. ඒ නිසා මෙතනදී වැඩි වගකීම සහ බර තියෙන්නේ අර්ජුන් ඇලෝසියස්ට අයථා ලෙස මුදල් උපයාදීම සඳහා ඔහුගේ මාමන්ඩිය වන අර්ජුන මහේන්ද්‍රන් විසින් සපයන ලද සේවාව, කාර්යය. වැදගත්ම සාධකය තමයි අර්ජුන මහේන්ද්‍රන්. එතකොට මහජනයාගේ ධනය අයථා ලෙස අවභාවිතාවේ යෙදවීම පිළිබඳව එම පත්කරන ලද බලධාරීන්ට වගකීමක් නැත්ද කියලා මම ඔබතුමාගෙන් දැන ගන්න කැමැතියි…

අගමැතිවරයා :- ආණ්ඩුවක් හැටියට පත්කරපු හැටියට විරුද්ධව තමයි…

අනුර දිසානායක මහතා :- මහ බැංකුවට අධිපති කෙනෙක් පත්කරා, රුසියාවට තානාපතිවරයෙක් පත් කරා, ඒවා ආණ්ඩුවේ පත්කිරීම් නේ…

අගමැතිවරයා :- ඔව් ආණ්ඩුවේ පත්කිරීම්…

අනුර දිසානායක මහතා :-  එතකොට අපි අහන්නේ රජයක් හැටියට…

අගමැතිවරයා :- රජයක් හැටියට වැරැද්දක් තිබුණු නිසා තමයි අපි නීතිය අනුව ක්‍රියා කරේ.

අනුර දිසානායක මහතා :- මම නැවත අහන්නේ. මට මතකයි ඔබතුමා මේ පාර්ලිමේන්තුව්දී මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඔබතුමා පිළිතුරක් ලබාදුන්නා ඔහු විවාහ උත්සවයක් සඳහා සහභාගි වුණේ, ඉතා ඉක්මනින්ම ඔහු මෙහෙට ළඟා වන බව පහදලා දුන්නා. ඒ නිසා මට දැනුණා ඔහුගේ විවාහ උත්සවවලට යන ගමන් පවා ඔබතුමා දන්නවා නම්, එහෙම කියවීමෙන් පෙන්නුම් කරනවා ඔබතුමා සමඟ සමීප සබඳතාවයක් තිබුණු බව. ඒ නිසා ඔබතුමා රටේ අග්‍රාමාත්‍යවරයා. ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ. ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා ඔහුව මෙහෙට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රයෙක්. එක….දෙක….උදයංග වීරතුංග කියන්නේ කවුද ? ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඥතී සොහොයුරා. ජාලිය වික්‍රමසූරිය කියන්නේ කවුද ? එයත් හිටපු ජනාධිපතිවරයාගේ ඥතීවරයෙක්. වර්තමාන අග්‍රාමාත්‍යවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් මේ රටේ වගකිව යුතු පුරවැසියන් නම් මම කියන්නේ ඒ දෙදෙනා මූලිකව වගකියන්න ඕන මේ දෙදෙනා ලංකාවට ගෙනත් දෙන්න. ඒ නිසා ඔබතුමාගේ පාර්ශවයෙන් මිතුරා ගෙනත් දීම සඳහා ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමතියි.

අගමැතිවරයා :- අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මං යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා. කිව්වා මම යන්නේ විවාහ ගෙදට්ට. ඊට පස්සේ එනවා කියලා. අපෙන් ඉවත් වුණාට පස්සේ ඒ වගකීම නැහැ. මම දන්නවා එකක් එතුමා විටින් විට මේ… මීට ඉස්සෙල්ලත් ඔය නිවාස මාරු කර කර හිටියේ හොඳ එකක් හම්බුවුණාම. ඒක සිංගප්පූරුවේ සිරිතක්, මම දන්නේ නැහැ ඉතිං ඒත් ඒ එක්කෙනෙක් ගැනවත්… මම උදයංග වීරතුංග කොහොමත් මට දැනුමක් නැහැ. ජාලියව නම් මං හම්බු වෙලා තියෙනවා. ඒත් ඊට පස්සේ මං සම්බන්ධකම් තියාගෙන නැහැ. ඕක සම්බන්දේ තිබුණා නම් ඊට පස්සේ කියනවා මමයි උදව් කරන්නේ කියලා.

Facebook
Twitter
LinkedIn