පුද්ගලයෙකු අතුරුදන් කළ කොස්තාපල් රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකු අතුරුදන් කළ කොස්තාපල් රක්ෂිත බන්ධනාගාරයට

පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ පැමිණීල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එවකට පිළියන්දල පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර ඇත.

එසේම මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් එවකට පිලියන්දල පොලීසියේ සේවය කළ තවත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා දැඩි කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මේ වනවිට දෙයියන්දර පොලීසියට අනියුක්තව සේවය කරණ පොලිස් කොස්තාපල් විජේමුණීගේ අසංක ශ්‍යාමල් නැමැත්තාය.

එසේම, දැඩි කොන්දේසි මත ඇප ලබාදී ඇත්තේ පිලියන්දල පොලීසියේ සේවය කරන පොලිස් සැරයන් අගුල්මඩුව විදානලාගේ කමල් සහ කලුතර දකුණ මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන් රියැදුරු හේරත් මුදියන්සේලාගේ උපුල් රන්ජන් ස්ටැන්ලි අමරසේකර යන අයවලුන්ටය.

අජිත් සුනන්ද කන්ඩම්බි නම් තම සැමියා පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටියදී 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ.

පිලියන්දල පොල්හේන, මඩපාත පදිංචි ප්‍රියන්ති ගුණසේකර නැමැත්තිය බිරිඳ විසින් 2009 වර්ෂයේදී මෙම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකර තිබිණි.

Facebook
Twitter
LinkedIn