20ට පක්ෂ විපක්ෂ හැමෝටම කතා කරන්න පුළුල් වේදිකාවක්

20ට පක්ෂ විපක්ෂ හැමෝටම කතා කරන්න පුළුල් වේදිකාවක්

ජවිපෙ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත 20 සංශෝධනය තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 20 අඩංගුව තවමත් රටට ඉදිරිපත් නොවූ තත්වයක් තුළද ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතුව තිබේ. ඇතැම් පිරිස් විසින් 20 විකෘති කරමින් මත පළ කිරීම පිළිබඳවත් 20 පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජවිපෙ නායකයෝ පසුගියදා විශේෂ සාකච්ඡුාවක් නිරත වූහ. “20 තවමත් පාර්ලිමේන්තුවට නොදාපු තත්වයක් ඇතුළෙත් සමහරු මේ ගැන බිල්ලෝ මවනවා. සමහරු විකෘති කරුණු ඉදිරිපත් කරනවා. ජනතාව නොමඟ යවන ප‍්‍රකාශ කරනවා.” විජිත හේරත් කීවේය.

“අපි මේ ගැන පුළුල් සංවාදයක් හදන්න ඕනෑ. 20 සංශෝධනයේ තියෙන කරුණු ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහනක් හදන්න ඕනෑ. සම්මන්ත‍්‍රණ මාලාවක්, විද්වත් හමු වගේම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් හැම ක‍්‍රමයක්ම යොදාගන්න ඕනෑ. වැරදි මත පරාජය කරන්න ඕනෑ. ජනතාව නොමඟ යවන්න ඉඩ දෙන්න බැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

“සමහරු රට ගැන තියෙන ඇත්ත ආදරය නිසා 20 ගැන කතා කරනවා. තවත් සමහර බංකොළොත් දේශපාලකයො තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා කෝපයෙන් කලබල වෙලා 20ට බුරා පනිනවා. කොහොම නමුත් මේ ගැන අදහස් පළකරන සියලු දෙනාට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද මේ පිළිබඳ සංවාදය උඩට ගන්න මේවා උපයෝගි වෙනවා. ඒ වගේම ජනතාවට බලපාන සංශෝධනයක් නිසාම සියලු දෙනාට අදහස් දක්වන්නත් අපි වේදිකාවක් හදන්න  ඕනෑ” අනුර දිසානායක යෝජනා කළේය.

“තවත් සමහර අය විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක ගැන දැන් වාද කරන්න හදනවා. ඒ සංවාදය යල් පැනලා. ඇත්තටම දැන් සංවාදය තියෙන්නේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයේ කරුණු කොහොම වෙන්න  ඕනද කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ වෙනකොටත් ජනවරම් 05ක් ලැබිලා තියෙනවා. 1994, 1999, 2005, 2010 වගේම 2015දීත් පත්වුණු ජනාධිපතිවරුන්ට මේ වෙනුවෙන් ජනවරමක් ලැබුණා. විශේෂයෙන් මෛත‍්‍රීපාල මහත්තයට ලක්ෂ 62ක ජනතාවගේ ජනවරමක් තියෙනවා මේ වෙනුවෙන්. ඔහුගේ ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.” බිමල් රත්නායක කීවේය.

“අපි මේ ගැන සංවාදයක් හැදුවාම වැරදි මත පරාජය කරන්න පුළුවන්. ඒ වගේම ආගමික නායකයින් එක්ක, දේශපාලන පක්ෂ සමග, සිවිල් සංවිධාන සමග මේ සාකච්ඡුා ගෙන ගියොත් අපේ කෙටුම්පතේ කරුණු ගැන ඔවුන් දැනුවත් කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඒ වෙනුවෙන් ප‍්‍රමුඛතාවය දෙන්න ඕනෑ” විජිත හේරත් කීවේය. ඒ වෙනුවෙන් 20 පිළිබඳව ජනතාව දැනුවත් කරන පුළුල් ප‍්‍රචාරක වැඩසටහනක් ඉදිරියේදී දියත් කිරීමට තීරණය කෙරිණි.

Facebook
Twitter
LinkedIn