රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී ඇත.
අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ උදයංග වීරතුංග මහතාගේ නැන්දනියක විසිනි.
ඉකුත් රාජපක්ෂ පාලන සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනිමේ සිද්ධියේදී අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව එහි ප්‍රධාන සැකකරුවෙකු වන උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් තහනම් කිරිමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් නියෝගයක් ලබාගන්නා ලදී.
එම නියෝග ලබාගෙන ඇති ආකාරය වැරදි බවත් මේ තුළින් උදයංග වීරතුංග මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් පෙත්සම්කාරීය සදහන් කර තිබේ.
කෙසේවෙතත් පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සිදු කළ කරුණු දැක්විම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට තීරණය කර ඇත.










