කප්පාදුව නවතනු සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා තහවුරු කරනු!

කප්පාදුව නවතනු සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා තහවුරු කරනු!

ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා 2017.06.27 වන දින ගනු ලැබූ තීරණයකට අනුව 2017.08.06 දින පුවත්පත් නිවේදන මගින් අයදුම්පත් කැඳවුවද එසේ කැඳවූ අයදුම්පත් වලට රැකියා අවස්ථා දෙනවා වෙනුවට ආණ්ඩුව තෝරාගත් ප‍්‍රමානයකට පමණක් රැකියා ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් කප්පාදු කිරිම් නවතා සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසටත් ආණ්ඩුවට බලකරමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය මාධ්‍ය වෙත නිවෙදනයක් යොමු කරමින් සඳහන් කරයි.

ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් අද (01) දින මාධ්‍ය හමුවක්ද කැඳවා තිබූ අතර එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතාගේ අත්සනින් නිකු කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් පල වේ.

එම දැන්වීම අනුව 2012.12.30න් පසු උපාධිය ලබා රැකියා අහිමිව සිටි උපාධිධාරීන් 53,000ක් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ්‍ය වෙත අයදුම්පත් යොමුකර ඇත. එම 53000 රැකියා අවස්ථා ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව තෝරාගත් ප‍්‍රමානයකට පමණක් සංවර්ධන නිලධාරී ස්ථිර තනතුර ලබාදීමට පෙර ක‍්‍රියාත්මක අභ්‍යාසලාභී පුහුණුව සඳහා ඉන් 20000ක් පමණක් ඇතුලත්කර ගැනීමට තීරණ්‍ය කර ඇත. එම තීරණයත් සමග අයදුම්පත් යොමුකර ඇති රැකියා විරහිත උපාධිධාරීන් 33000කට අධික ප‍්‍රමාණයකට රැකියා අහිමිවීමෙන් බරපතල අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙමු. එම නිසා 53000න් 20000ක් පමණක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස්කර ඇයදුම්පත් යොමුකර ඇති සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව අනුව 1999 සිට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ක‍්‍රියාත්මක කරන ලද අභ්‍යාසලාභී සේවා කාලය වසර 01ක් වූ අතර මෙවර එය වසර 02 දක්වා දීර්ඝකර ඇත. මේ පිළිබඳව මෙතෙක් තිබූ අමාත්‍ය මණ්ඩල ප‍්‍රතිපත්ති තීරණයට පටහැනිව පුහුණු කාලය වසර 01 සිට 02 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයට අපගේ දැඩි විරෝධය පලකරන අතර එම පුහුණු කාලය පවතින නීතියට අනුව වසර දක්වා අඩුකරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

ආණ්ඩුව උපාධිධාරීන් වාර්ෂිකව බඳවාගැනීම් සිදු නොකරයි. 1999 සිට 2012 දක්වා උපාධිධාරීන් බඳවාගෙන ඇත්තේ වසර 05න් 05ට ය. ඒ අනුව රැකියා අවස්ථා හිමිවිය යුතු උපාධිධාරීන්ගේ වයස් සීමාව ඉක්මවීමෙන් උපාධිධාරීන් පිරිසකට සෑම අවස්ථාවකදීම අසාධාරණයක් සිදුවේ. 2012.02.14 දින නිකුත් කල සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුව මෙම තනතුරට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව 35, 45 දක්වා ඉහළ දමන ලෙස අප සංගමය දිගින් දිගටම පැවති හා පවතින ආණ්ඩුවලින් ඉල්ලා සිටින ලදි. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලද අවස්ථා කීපයකදී ප‍්‍රශ්නකිරීම් සිදුවුන අතර ආණ්ඩු එම අවස්ථාවලට පිළිගත හැකි පිලිතුරු ලබානොදී පලායන ලදි. මෙවර බඳවාගැනීම් සිදුවනුයේ ද උපරිම වයස් සීමාව 35 දක්වා පමණි. එම හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන අතර ආණ්ඩුවේ මෙම දරදඬු තීරණයෙන් උපාධිධාරීන්ගේ ජීවිත ඉරණම අස්ථාවර කර ඇත. ඒ අනුව වයස් සීමාව අවු. 45 දක්වා සලකා බලන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

මෙම බඳවාගැනීම සිදුකරණුයේ දිස්ත‍්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂන මගිණි. ඒ අනුව 20000 සම්පූර්ණ වන ආකාරයට දිස්ත‍්‍රික් 25 සඳහා අගයන් ලබාදී ඇත. ඒ අනුව අදාල දිස්ත‍්‍රික්කවල රැකියා විරහිත උපාධිධාරීන් කොතෙක් සිටියත් ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය තීරණය කර දිස්ත‍්‍රික් ලේකම්වරුන් සඳහා දී ඇති අගය නොඉක්මවන අතර ඒ මගින්ද උපාධිධාරීන් කප්පාදු කිරීමට නියමිතව ඇත.

මෙම සම්මුඛ පරික්ෂණයේ දී සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුව ලකුණු ලබාදීම යටතේ භාෂා ප‍්‍රවීණතාවයට 20කි. අලුත් තීරණය අනුව එය වෙනසක් නොවේ. පරිගණක සාක්ෂරතාව සඳහා ලකුණු 15කි. නව තීරණය අනුව එය 20 දක්වා වැඩිකර ඇත. අතිරේක අධ්‍යාපන සුදුසුකම් සඳහා ව්‍යවස්ථාව අනුව ලකුණු 30ක් වන අතර නව තීරණය අනුව එය 20 දක්වා අඩකර ඇත. විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ව්‍යවස්ථාවේ ලකුණු 30ක් සඳහන්වන අතර නව තීරණය අනුව එය 20 වේ. සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන කුසලතා සඳහා ව්‍යවස්ථාවේ ස`දහන් උපරිම ලකුණු 05ක් වන අතර එය 20 දක්වා ඉහල දමා ඇත.

ආණ්ඩුව ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදය වෙනස්කර ආණ්ඩුවට අවශ්‍ය පරිදි අවශ්‍ය පිරිස් බඳවා ගැනීමට හැකිවන පරිදි සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන කුසලතා සඳහා වන ලකුණු ප‍්‍රමාණය වැඩිකිරීම තුලින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ආණ්ඩුව ක‍්‍රියාකර ඇති බව අප චෝදනා කරන අතර ව්‍යවස්ථාව වෙනස් කරමින් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සහ කිරීම පිළිබඳව අපගේ දැඩි විරෝධය පළකරමු.

සියලු රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව එම අයිතිය තහවුරු කරන තෙක් සියලූම රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මෙයින් අවධාරණය කරමු.

බඳවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා සලකන ලෙසත් දේශපාලන හිතවත්කම් මත බඳවා ගැනීමට වැඩි ඉඩක් සලසන අසාධාරණ ලකුණු ක‍්‍රමය ඉවත්කර සියලු රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීමට පියවර ගතයුතු බව අවධාරණය කරමු.

කප්පාදු කිරීමකට ලක්කර කොටසක් පමණක් බඳවා ගැනීමට ආණ්ඩුව ක‍්‍රියාකළහොත් එය වැළැක්වීමටත් අයදුම්පත් යොමුකර ඇති අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති සියලුම උපාධිධාරීන් බඳවා ගන්නා ලෙස බලකරමින් රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් දන්වා සිටිමු.

Facebook
Twitter
LinkedIn