“තේ මණ්ඩලය කම්හල් 80ක් අතුරින් තේ නිෂ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ‍්‍ර කරනු ලබන්නේ යැයි කියනු ලබන තේ කර්මාන්ත ශාලා 53ක් හඳුනා ගත්තේ නම්, කළ යුතුව ඇත්තේ එක්කෝ තේ කර්මාන්තයේ කීර්තිනාමයට හානි කළ 53 දෙනාගේ නම් සහිතව හෙළිදරව් කිරීමයි. නැතිනම් අඩු තරමේ සාධාරණ ලෙස තේ නිෂ්පාදනය කරනු ලබන්නේ යැයි හඳුනාගත් 27 දෙනාගේ නම් ප‍්‍රසිද්ධ කිරීමය. එසේ නොකරන්නේ නම් එම වැටලීමට ලක්වූ ආයතන 80 සඳහාම මෙම චෝදනා අදාළ වීම වැළැක්විය නොහැකියි.” යැයි සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියි.
සුලින් හඳුන්නෙත්ති මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම පිලියේ වැඩිදුරටත් සඳහන් වන්නේ…
“තේ නිෂ්පාදනයේදී සීනි සහ ග්ලූකෝස් මිශ‍්‍ර කරනු ලබන්නේ යැයි කියනු ලබන තේ කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇතැයි 2018 මාර්තු 15 දින ජාතික ජනමාධ්‍යයක් මගින් ප‍්‍රවෘත්තියක් පළකර තිබුණි. එම ප‍්‍රවෘත්තියට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ වන තේ මණ්ඩලය මගින් බව අනාවරණය කර ඇත.
තේ මණ්ඩලයේ එවකට සභාපති රොහාන් පෙතියාගොඩ මහතා ජනමාධ්‍යට කියා තිබුණේ රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල තේ කර්මාන්ත ශාලා 80ක් වැටලීමේදී මෙම කම්හල් 53 සීනී හා ග්ලූකෝස් මිශ‍්‍ර කර දළු ඇඹරීම කරන බව සොයා ගත් බවය.
ශ‍්‍රී ලංකා තේ නාමය අපකීර්තියට පත්කරන එවැනි කූට ජාවාරම්කාරයින් හඳුනාගැනීම අගය කරන අතරම එසේ නොකර සාධාරණ තේ කර්මාන්තයේ නියැලෙන අයටද මෙවැනි ක‍්‍රියාවන් නිසා අපකීර්තයේ කොටසක් හිමිවන බව ඔබතුමාටද මේ වනවිට පැහැදිලි වී ඇතැයි මම විශ්වාස කරමි. මෙම වැටලීමේදී මෙවැනි ජාවාරම් කළ කර්මාන්ත ශාලා 53 කවුරුන්දැයි හෙළි නොකරම ඔවුන්ව අභ්‍යන්තරික ලෙස අවවාද කිරීමෙන් සිදුවනුයේ සාධාරණ ලෙස තේ කර්මාන්තයේ නියැලෙන අයද එම දූෂිතයින් ගණයටම අයත් වීමය.
තේ මණ්ඩලය කම්හල් 80ක් අතුරින් 53ක් හඳුනා ගත්තේ නම්, කළ යුතුව ඇත්තේ එක්කෝ තේ කර්මාන්තයේ කීර්තිනාමයට හානි කළ 53 දෙනාගේ නම් සහිතව හෙළිදරව් කිරීමයි. නැතිනම් අඩු තරමේ සාධාරණ ලෙස තේ නිෂ්පාදනය කරනු ලබන්නේ යැයි හඳුනාගත් 27 දෙනාගේ නම් ප‍්‍රසිද්ධ කිරීමය. එසේ නොකරන්නේ නම් එම වැටලීමට ලක්වූ ආයතන 80 සඳහාම මෙම චෝදනා අදාළ වීම වැළැක්විය නොහැකිය.
මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කර ‘ශ‍්‍රී ලංකා තේ’ නාමය අපකීර්තියක් ගෙන දෙන ලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයින් හා කර්මාන්ත ශාලා වෙත නීතිමය පියවර ගන්නා ලෙසත් හැකි ඉක්මනින් එම වැරදි කළ අයගේ නම්, ආයතන, කර්මාන්ත ශාලා මහජනතාවට දැනගැනීමට සලස්වන ලෙසත් ඉල්ලා සිටිමි.” යනුවෙනි.











