“ආගම්වල ආධ්‍යාත්මයට සමීප අය ඉන්නවාද කියලා බැලුවොත් බොහොම දුර්ලබයි. ආගම් හතරටම මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් ආධ්‍යාත්මික මිනිස්සු ඉන්නවාද කියලා බැලුවොත් ඉතාම දුර්ලබයි. කෙනෙකු තුළ ආධ්‍යාත්මික පැත්ත දියුණු වුණාද කියලා මනින්න කරුණු හයක් තිබෙනවා. ආදරය කිරීමේ හැකියාව, සමාජීයමය හැකියාව, සමානාත්මතාවය, යුක්තිය සාධාරණත්වය ඉටු කළ හැකි හදවතක් තිබීම, බෙදාහදා ගැනීමේ හැකියාව සහ සරල චාම් ජීවිතයක් ගත කිරීමේ හැකියාව කියන කරුණු හය. මේ හය ආගම් හතරටම පොදුයි.” යැයි කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා සඳහන් කරයි.
මහාචාර්යවරයා මේ බව පැවසූවේ ජාතිවාදයට එරෙහිව ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී වෙනසක ඇරඹුම සංවිධානය විසින් පවත්වන ලද “අපි මිනිස්සු” ජාතික සමගි කතිකාවත හා එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා…
“මානව සමාජයේ හැම හැසිරීමකටම හේතුවක් තිබෙනවා. හේතුවක් නැති හැසිරීමක් නැහැ. අවුරුදු පහක් හයක් කාලයේ ඕනෑවට වඩා තුවාල වෙච්ච දරුවෙකු ලොකු වුණාම අනිත් අයට තුවාල කරනවා. ආදාරය අත්දැකපු දරුවා ලොකු වුණාම අනිත් අයට ආදරය කරනවා. පිළිගැනීම අත්දැකපු දරුවන්ටයි අනිත් අයට පිළිගැනීම දෙන්න පුළුවන්. මගේ අත්දැකීම් අනුව මුල් තැන දෙන්න ඕනේ දරුවන්ට. ලංකාවේ තියෙන ප‍්‍රශ්නවලින් ප‍්‍රධානම ප‍්‍රශ්නය ආධ්‍යාත්මික ප‍්‍රශ්නය කියලා මට නම් හිතෙන්නේ. අපේ රටේ ආගම් හතරක් තියෙනවා. නමුත් ආගම්වල ආධ්‍යාත්මයට සමීප අය ඉන්නවාද බැලුවොත් බොහොම දුර්ලබයි. ආගම් හතරටම මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් ආධ්‍යාත්මික මිනිස්සු ඉන්නවාද කියලා බැලූවොත් ඉතාම දුර්ලබයි. කෙනෙකු තුළ ආධ්‍යාත්මික පැත්ත දියුණු වුණාද කියලා මනින්න කරුණු හයක් තිබෙනවා. ආදරය කිරීමේ හැකියාව, සමාජීයමය හැකියාව, සමානාත්මතාවය, යුක්තිය සාධාරණත්වය ඉටු කළ හැකි හදවතක් තිබීම, බෙදාහදා ගැනීමේ හැකියාව සහ සරල චාම් ජීවිතයක් ගත කිරීමේ හැකියාව කියන කරුණු. මේ හය ආගම් හතරටම පොදුයි.
ඒ වගේම හැම භාෂාවකටම ශබ්ද නීතියක් තිබීම නිසා එක භාෂාවක් තවත් භාෂාවකින් වෙන් වෙනවා. මේ විවිධත්වය පිළිගන්න ඕනෑ. මනුෂ්‍යාගේ අනන්‍යතාවය රැඳෙනේනේ එතන. සිංහල අයට ජාතිය ගැන කතා කරනකොට රිදෙනවා. මුස්ලිම් අයට ආගම ගැන කතා කරනකොට රිදෙනවා. දෙමළ අයට භාෂාව ගැන කතා කරනකොට රිදෙනවා. මේ කියන කරුණුවලට යම් හානියක් වුණොත් අනිත් දේවල්වලට වැඩියෙන් ඒ ඒ අයට රිදෙන බව අපි තෙරුම් ගන්න ඕනෑ.
ඒ වගේම අප තුළ ගොඩනැගිලා තියෙන ආකල්ප හරිම වැදගත්. සිංහල මහ ජාතිය කියලා කොච්චර කතා කළත්, “සුද්දා වගේ වැඩ කියලා” කියන්නේ ඔවුන් උසස් කියන ආකල්පය ඇතුවයි. අනිත් පැත්තට “දෙමළු පඩි ගත්තා වාගේ” කියන්නේ පහත් ආකල්පයක් දක්වන්නයි. දෙමළ අය තුළ සිංහල අය ගැන තියෙන්නේ මෝඩයි කියන ආකල්පය. මුස්ලිම් අය ගැන තියෙන ආකල්පය “වාසි පැත්තට හෝයියා” කියලයි. ඔය වැරදි ආකල්ප තිබෙන කල් ඇතුළාන්තය සුව කරන්න බැහැ.
මම යෝජනා කරන්නේ ආගම් හතරටම පොදු ආධ්‍යාත්මික සංකල්ප හය දියුණු කරගෙන අපේ ආකල්ප ඇතුළාන්තය සුව කර ගැනීමට යොදා ගන්න ඕනෑ.
මම ඉපදුනේ මුලතිව්වල. හැබැයි මගේ ජීවිත කාලයෙන් වැඩිපුුරම සේවය කළේ සිංහල දරුවන්ට. මගේ ආකල්ප වෙනස්. එක වෙලාවකට සිංහල භාෂාවෙන් කතා කරනවා. තව වෙලාවක මම දන්නෙම නැතුව දෙමළ භාෂාවට මාරුවෙලා. මේක තමයි වෙන්න ඕනෑ. ආධ්‍යාත්මික සුවය තියෙන්නේ එතන.”













