බැසිල්ට එරෙහි තව නඩුවක් මැයි 03ට කල් යයි

බැසිල්ට එරෙහි තව නඩුවක් මැයි 03ට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර බෙදාදීමේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,992 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා ලැබ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහි නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ලබන මැයි මස 03 වැනිදාට කල් තබා ඇත.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක හා එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි යන විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා තිබුණි.

නඩු විභාගය සඳහා ඔවුන් ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩු කටයුත්තකට සහභාගි වන බව දන්වා සිටීමෙන් අනතුරුව නඩුවේ වැඩි දුරටත් විභාගය එසේ කල් තබා ඇත.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී 2014 ඔක්තෝබර් 20 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුවන් මේ වැරැදි සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා තිබේ.

Facebook
Twitter
LinkedIn