පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා හානියට පත්වූ ප‍්‍රදේශවල ජනතාව හමුවීමට ජවිපෙ නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ මහනුවර සංවිධායක ගයාන් ජානක, නීතිඥ උපුල් කුමරප්පෙරුම යන අය පසුගිය සෙනසුරාදා අකුරණ, දිගන, තෙල්දෙණිය ප‍්‍රදේශවලට ගියහ. ඒ අතර මුල් සිදුවීමෙන් මරණයට පත්වූ කුමාරසිංහගේ සහ මුස්ලිම් තරුණයාගේ නිවෙස්වලටද හානියට පත්වූ පූජනීය ස්ථානවලටද ගොස් කරුණු සොයා බලන්නට ජවිපෙ නායකයෝ ඇතුළු පිරිස කටයුතු කළහ. “මහත්තයෝ කුමාරසිංහ මැරුණ එක තමයි ප‍්‍රශ්නයට මුල වුණේ. නමුත් මළගෙදරට කවුරුත් ආවේ නැහැ. අපේ ගමට අල්ලපු ගම් දෙක මුස්ලිම් ගමයි, සිංහල ගමයි. නමුත් මෙහෙ කවුරුත් ගහමරාගන්න ගියේ නැහැ. මේ මිනිස්සු මොකටද මේ විදියට මරාගන්නේ. අපිට තේරෙන්නේ නැහැ” කුමාරසිංහගේ පවුලේ ඥාතීහු ජවිපෙ නායකයින්ට කියා සිටියෝය. “දැන් ගහමරාගත්තා කියලා අපිට වෙන සෙතක් නැහැ. කුමාරසිංහගේ පවුලේ දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආබාධිතයි. ඒ අය ගැන තමයි දැන් අපිට ගැටලූව තියෙන්නේ.” තවත් ඥාතියෙක් කියා සිටියේය. “අපි ශිෂ්‍යත්වයක් දෙන්න කටයුතු සූදානම් කරන්නම්. විදෙස්ගත අපේ සහෝදරයෝ ඒ වගේ උදව් කරනවා. එහෙම අය සම්බන්ධ කරලා දෙන්න අපි කටයුතු කරන්නම්.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
අනතුරුව ගැටුමින් මිය ගිය මුස්ලිම් තරුණයාගේ ඥාතීන්ද මුණ ගැසුණු ජවිපෙ නායකයෝ විනාශයට පත්වූ ව්‍යාපාරික ස්ථාන හා පූජනීය ස්ථානවලට ගොස් තත්වය සොයා බැලූහ. “එක සිද්ධියක් අල්ලගෙන මේ තරම් විනාශයක් කළා. එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදිවලට අපි හැමෝම වන්දි ගෙවන්න ඕනෑද? අපි බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාර දියුණු කරගත්තේ. ඒත් දැන් හැමදේම විනාශයි.” මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. “අපි මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් කඩයක් කුලියට අරගෙන බිස්නස් කළේ. අපේ කඩයත් ගිනි තිබ්බා. ඇයි මේ මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ.” සිංහල ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. “මේ ජාතිවාදී ගැටුම් ඇතිකරන්නේ දේශපාලන වුවමනාවක් අනුවයි. ඇතැම් අයට ජාතිවාදය තමයි එකම තුරුම්පුව. ඒ නිසා බිම් මට්ටමින් ජනතාව සමගි වෙන්න ඕනෑ. බිම් මට්ටමින් ජාතික සමගිය වෙනුවෙන් දේශපාලනය කරන්න ඕනෑ. වෙන උත්තරයක් අපිට නැහැ.” අනුර දිසානායක කියා සිටියේය.
මේ අතර හානියට පත්වූ පල්ලි කිහිපයකටද ගිය ජවිපෙ නායකයෝ තත්වය සොයා බැලූහ. “අපිට තේරෙන්නේ නැහැ මිනිස්සු මේ විදියට ගහමරාගන්නේ කියලා. අපෙන් වෙලා තියෙන වැරද්ද මොකක්ද? අපි හදාගන්න ඕනෑ දේවල් මොනවද? ඔබතුමාලා තමයි කියන්න තියෙන දේවල් කෙලින් කියන්නේ. ඔබතුමාලා අපිට කියලා දෙන්න මොකද කරන්න ඕනෑ කියලා.” අකුරණ පල්ලියේ පූජකතුමන්ලා විමසා සිටියෝය. “ඇත්තටම අපේ සංස්කෘතිය නිර්මාණය වෙන්න ඕනෑ ජාතික සමගිය ඇතිවෙන පැත්තට. එහෙම නැතුව ජාතීන් ඈත් කරන දිසාවට නෙවෙයි. ඔබතුමාලා තමයි කළ යුතු දේවල් තීරණය කරන්න ඕනෑ. අපිත් පාර්ශවකරුවෙක් විදියට සම්බන්ධ වෙන්නම්. නමුත් දැන් වෙලාව නෙවෙයි හැමදේම වෙනස් කරන්න. නමුත් ඒ ගැන සාකච්ඡාවක් ඉදිරියට කරන්න පුළුවන්. මේ වෙනකොට ජාතිවාදී පෙට‍්‍රල්වලින් රටම තෙත්වෙලා. කොයිවෙලේ ගිනිගනීද කියන්න බැහැ. ඒ නිසා පරෙස්සමෙන් අපි කටයුතු කරන්න ඕනෑ කාලයක්. අපි පක්ෂයක් විදියට ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ගන්න ඕනෑ ක‍්‍රියාමාර්ග ගන්නවා.” අනුර දිසානායක කියා සිටියේය.










