‘සියවසේ අයින්ස්ටයින්’ නමින් විරුදාවලී ලත් බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝව්කිංගේ මිය යාම විශ්වය හැරයාමක් ලෙස මාධ්‍ය වාර්තා කර ඇත.
අප‍්‍රතිහත ධෛර්ය පිළිබඳ සංකේතයක් බඳු හෝව්කිං හට 21වැනි වියේදී සෑදුනු ස්නායු ආබාධයෙන් පසු වෛද්‍යවරු ඔහුගේ ඉදිරි ජීවිතයට ලබාදී ඇත්තේ වසර දෙකක් පමණක් වූවද රොද පුටුවක සිට තම අප‍්‍රමාණ ඥාන ශක්තිය මෙහෙයවමින් පෘතිවිය නොව විශ්වයම කළඹවමින් ලොවට සිදු කළ සේවය අති උදාර බව මුලු ලොව පිළිගෙන තිබේ.
තමන්ට වෛද්‍යවරුන් ලබාදුන් වසර දෙකක ජීවන ගමන තවත් වසර 52කින් දිගුකර ගැනීම විශ්මය දනවන කරුණක් බවට පත්ව ඇත.
“අනික් ආබාධිත අයට මට පැවසීමට ඇත්තේ මෙපමණයි. ඔබේ ආබාධිත බව හොඳින් වැඩ කිරීමට බාධාවක් නොවෙයි. එහි පෙනුම ගැන කිසිසේත්ම නොසිතිය යුතුයි. කායිකව අබාධිත වූ අයුරින් ආත්මයට ආබාධිත වන්නට නොදිය යුතුයි” ලෙස පවසමින් මිනිසත්කමේ ගැඹුර සහ නොනවතින ජවයේ රහස ඔහු පෙන්වා දී ඇත.
හොව්කිං තම ජීවන දැක්ම හෙළිකරමින් පවසා ඇත්තේ “පෙනෙන විදියට දෙව්ලොවක් කියා දෙයක් නැත. පරලොවක් ද නොමැත. විශ්වයේ අපූරුතම නිර්මාණය ගැන තේරුම් ගන්නට ලැබෙන්නේ එකම එක ජීවිතයකි. ඉතින් එය එලෙස නම් මට ඉතා සතුටුයි” යනුවෙන්ද ඔහු සඳහන් කර තිබුණි.










