අපි ඉල්ලා අස්වෙන්නේ නැහැ – බයිසිකලයේ 07ක් ලිඛිතවම මැකෝට දන්වයි

අපි ඉල්ලා අස්වෙන්නේ නැහැ – බයිසිකලයේ 07ක් ලිඛිතවම මැකෝට දන්වයි

පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 07 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය ධුරවලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්‍යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත් ලිඛිතව දන්වා තිබේ.

නාගරික සභික ධුර ප්‍රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන, දිලන්ති කුසුම්සිරි, බෝඹුවිල දේවගේ ජොසපින්, චමිඳු ලක්ෂාන් රණසිංහ, ධම්මිකා නිශාන්ති, ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා මගින් මෙම ලිඛිත දැනුම්දීම සිදු කර තිබේ.

කෙසේ නමුත් මෙම අපේක්ෂක පත්‍රිකාවේ එක් අපේක්ෂකයෙකු හැර අනෙක් සියළුම දෙනා අදාළ පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිටස්තරව පදිංචි පුද්ගලයින් බැවින් මොවුන්ගේ සභික ධුර පිළිබඳව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වේ.

Facebook
Twitter
LinkedIn