ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මෙම පිරිස අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා පවසයි.
මෙම නිලධාරීන් අබුඩාබි නුවර දී රාජතාන්ත්‍රික මට්ටමින් එරට බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා සැකකාර උදයංග වීරතුංග මෙරට රැගෙන ඒමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.
උදයංග වීරතුංග සිය පවුලේ අය සමඟ ඇමැරිකාව බලා යාමට උත්සහ කිරීමේ දී ඩුබායි ගුවන්තොට පර්යන්තයේ දී ඉකුත් (04) වැනි දින අලුයම එරට ආගමන විගමන නිලධාරිහු ඔහු අත්අඩංගුවට ගත්හ.
උදයංග වීරතුංග දැනට අබුඩාබි නුවර රදවාගෙන සිටියි.
උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුව ඇතුළු මෙරට ක්‍රියාත්මක වංචා දූෂණ විමර්ශන කටයුතු කිහිපයකටම උදයංග වීරතුංග අවශ්‍ය ඇති පුද්ගලයෙකු ලෙස ජාත්‍යන්තර වරෙන්තුවක්ද ලබා සිටින්නෙකි.










