එජාපය හා ශ්‍රිලනිපය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඊයේ (31) දිනෙන් එම කාලය ඉක්ම ගිය අතර ඒ හේතුවෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරු තීරණයක් ගැනීමට ඊයේ (31) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. මෙම තත්වය තුළ ඊයේ (31) යහපාලන ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මක දිනයක් විය.
ආණ්ඩුවේ රැඳෙන්නේද ආණ්ඩුවෙන් ඉවත්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (30) දින වනවිටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු අතර ඒකමතියක් නොතිබුණු නමුත් ඊයේ පැවති සාකච්ඡාවේදී අවසන් වශයෙන් එකඟතාවයට පැමිණ ඇත්තේ ශ්‍රීලනිපය තව දුරටත් වත්මන් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය. ආණ්ඩුවෙන් ඉවත්ව එජාප විරෝධී ස්ථාවරයක සිට ඉදිරියේදී කටයුතු කළයුතුය යන මතයේ සිටි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් පවා මෙම අවසන් තීරණයට එකඟවී ඇත.
ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රී කණ්ඩායමක් දිගින් දිගටම කරුණු දක්වමින් පවසා ඇත්තේ මේ මොහොතේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එය ජනාධිපතිවරයාට සෘජුවම බලපාන බවත් ශ්‍රීලනිපයේ සභාපතිවරයාද වන ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී තනි නොකළ යුතු බවත්ය. ඒ අනුව එම තර්කයට එකඟ වෙමින් සියලුම ශ්‍රිලනිප මන්ත්‍රීවරු අවසානයේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට එකඟතාවය පල කර ඇත.
2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වසර දෙකකට ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් මත යහපාලන ආණ්ඩුව ගොඩනැගුණු අතර පසුගිය සැප්තැම්බර් මස දෙවෙනි දිනට එම කාලය ඉක්ම ගියේය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් මත මේ වසර (2017) අවසන්වන තෙක් ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු කලින් එකඟවී තිබිණි.










