ඛනිජ තෙල් සේවකයෝ යලි සටනකට සැරසෙති

ඛනිජ තෙල් සේවකයෝ යලි සටනකට සැරසෙති

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීරණය ඉන්දියාවට පැවරීම නිසා අනාගතයේ ඇතිවිය හැකි ජාතික ව්‍යසනය වැළැක්වීම සඳහා මෙතෙක් ගෙන ගිය සටන පුළුල් කරමින් දැවැන්ත ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා අද (20) දින පස්වරු 3.30ට මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරණ වෘත්තීය සමිතිවල ශක්තිය දායක කරගැනීමේ අරමුණෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ හා ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කිරීමේ වෘත්තීය සමිති හමුවක් පැවැත්වෙන බව ඛනිජතේල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.

ඩී.ජේ. රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහතින් පල වේ.

“ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම නිසා අනාගතයේ ඇතිවිය හැකි ජාතික ව්‍යසනය වැළැක්වීම

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ C.P.S.T.L.  ආයතනයේ සේවකයින් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති 06ක් එක්ව පිහිටුවාගෙන ඇති ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පහත සඳහන් ඉල්ලීම් මුල් කරගෙන දීර්ඝ වෘත්තීය අරගලයක නිරතව සිටී.

  1. ත්‍රිකුණාමලය චීනවරාය තෙල් ටැංකි තෙල් සංස්ථාවට පැවරීම හා නැවත මෙහෙයුම් දියත් කිරීම.
  2. සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජයේ මැදිහත්වීමෙන් නවීකරණය කිරීම.
  3. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරා ඒ හරහා නැව් තෙල් වෙළදාම ඇරඹීම.

මෙම ඉල්ලීම් සියල්ල හුදු ඛනිජතෙල් සේවකයන් හට පමණක් බලපාන කරුණු නොව සමස්ථ ජනතාවටත් රටේ ආර්ථිකයටත් අනාගතයටත් බලපාන තීරණාත්මක කරුණු වේ. රජය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සමඟ ඇති කරගත් එකඟතා කඩකරමින් හම්බන්තොට වරාය සහ තෙල් ටැංකි චීනයට පවරන මොහොතේ අපට හදිසි සටනක් දියත් කිරීමට සිදුවූ අතර එහි දී ඉදිරියට පැමිණි මර්ධනය හා බොරු පොරොන්දු හමුවේ රජය විසින් සිය අවශ්‍යතාව ඉටුකරගන්නා ලදී. එම අහිමිවීම අප රටේ අනාගත ආර්ථිකයට පිරිමැසිය නොහැකි මරු පහරක් වනු නොඅනුමානය.

එලෙසම අප සමඟ පවතින එකඟතා බිඳිමින් රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරමින් සිටී. මෙයට ඉඩ දුනහොත් අප අපේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු නොකළ ද්‍රෝහීන් වනු ඇති බව අපි විශ්වාස කරමු.

මෙය රටේ අනාගත ආර්ථිකයටත් අනාගත පරපුරටත් ඉතා අහිතකර ලෙස බලපාන ගැටලුවක් වන බැවින් හා රටේ සමස්ථ බලවේග ඒ වෙත යොමු කිරීම හරහා පමණක් විසඳිය හැක්කක් වන බැවින් පුළුල් ජනතා බලවේගයක් ඒකරාශී කිරීමට අප තීරණය කොට ඇත.

ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරණ වෘත්තීය සමිතිවල ශක්තිය දායක කරගැනීම සඳහා මේ පිළිබඳව දැනුවත් කිරීමේ හා ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කිරීමේ වෘත්තීය සමිති හමුවක් 2017.12.20 වෙනි බදාදා දින සවස 3.30ට මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ.”

Facebook
Twitter
LinkedIn