හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් පසු පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට මහින්ද පිලේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් සහභාගී නොවූ අතර විශ්‍රාමික ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද එම ඡන්ද විමසීම මගහැර යාම විශේෂත්වයකි.
හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව රට තුළ විරෝධතාවයක් මතුවෙමින් එන විට එය තම දේශපාලන න්‍යායපත්‍රයේ කොටස් බවට පත් කරගත් මහින්ද පිල ඊට එරෙහිව විරෝධතා ආදිය පැවැත්වූ අතර බොහෝ පිරිසකට හිරබත් කන්නටද සිදු විය.
කෙසේ නමුත් එවන් තත්වයක් මත එම වරායට අදාළව ඡන්දය විමසීමක් සිදුවන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියද ඔවුන් කිසිවෙකු, හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව සිය ඡන්ද භාවිතා කළේ නැත.
එමෙන්ම අද (09) පාර්ලිමේන්තුවේ පැවති 2018 අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවටද මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී සිටියේ නැත.
වත්මන් පාර්ලිමේන්තුවට මේ වනවිට අයවැය තුනක් ඉදිරිපත්ව ඇති අතර අනපනත් ගණනාවක්ද ඉදිරිපත්ව ඇත. විශ්‍රාමික ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඒ කිසිවකට ඡන්ද ලබාදෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව මගහැර යාමට කටයුතු කිරීමද විශේෂත්වයකි.
මහින්ද රාජපක්ෂ මහතා පන්සල්වල දේශපාලන රැස්වීම් පවත්වමින් දැඩි ආණ්ඩු විරෝධයක් දක්වන්නේයැයි පෙන්නුම් කිරීමට උත්සාහ කළද ඔහු ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ ප්‍රධානීන්ට සෘජුවම විරෝධය දැක්වීමට ඇති අවස්ථා සියල්ලක්ම පාහේ මගහැර ගොස් තිබේ.
දේශපාලන විචාරකයින් පවසන්නේ තමන්ටත් තම පවුලටත් එල්ල වී ඇති වංචා, දූෂණ හා අපරාධමය චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග මේ වනවිට නැවතී ඇති බැවින් එම අධිකරණමය කටයුතු නතර කරගැනීමේ ගණුදෙනු නිසා මෙලෙස ඔහු එම අවස්ථා මගහරිමින් සිටින බවය.









