වෙනිසියුලාවෙන් ඩිජිටල් මුදල් ඒකකයක්

වෙනිසියුලාව ‘පෙට්රෝ’ නමින් තමන්ගේම ක‍්‍රිප්ටෝ මුදල් ඒකකයක් හෙවත් අන්තර්ජාල ඩිජිටල් මුදල් ඒකකයක් දියත් කිරීමට සූදානමින් සිටින බව එරට ජනපති නිකලොස් මදුරෝ පසුගිය ඉරිදා සඳහන් කළේය. විශේෂයෙන්ම මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය හරහා තම රටට එල්ල වී ඇති සම්බාධකවලට පිළිතුරක් ලෙස මෙම මුදල් ඒකකය නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පවසා තිබේ.

පසුගිය ඉරිදා එරට කරකස් අගනුවරදී සංවිධානය කෙරුණු ‘සන්ඩේස් විත් මදුරෝ’ නම් රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන හරහා ජනතාව අමතමින් ඔහු මේ බව අනාවරණය කර ඇත. විශේෂයෙන්ම එරට භාවිත මුදල් ඒකකය වන බොලිවාර්, ආසන්න සති හතරක කාලය තුළදී 57%කින් අවප‍්‍රමාණ වීමත් සමගින්ම වෙනිසියුලානු බලධාරීන් මේ තීරණයට පිවිස ඇත.

“වෙනිසියුලාව තමන්ගේම ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කරන්නයි යන්නේ”. එය පෙට්රෝ නමින් හැඳින්වෙනවා. ඒ හරහා අපිට රටේ ආර්ථිකය සහ සමාජ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු අලුත් ආකාරයෙන් සකස් කරගැනීමට හැකි වේවි”. මදුරෝ පවසා ඇත.

දකුණු ඇමෙරිකානු කලාපයේ පිහිටි වෙනිසියුලාව සතුව දැවැන්ත තෙල් සහ ගෑස් සම්පතක් මෙන්ම ස්වභාවික සම්පත් රැසක්ම පැවතීමත් ඒ හරහා රටෙහි ආර්ථිකය නඟා සිටුවීමත් මදුරෝගේ මේ සැලසුමේ අරමුණ වී තිබේ. විශේෂයෙන්ම රටෙහි මුදල් ස්වාධීනත්වය ආරක්‍ෂා කරගනිමින් මූල්‍ය ගනුදෙනු සිදුකිරීම සහ දැනට රටට එරෙහිව පවතින මූල්‍ය සම්බාධක තුරන් කිරීමත් එහි අපේක්‍ෂාවයි.

“මේ අලුත් ඩිජිටල් මුදල් ඒකකයත් එක්ක අපි 21 වැනි සියවස හා එක්වෙනවා” මදුරෝ පවසා ඇත.

Facebook
Twitter
LinkedIn