ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් පසුගිය 2015 ජනවාරි මාසයේදී කේපීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කළේ ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා සිටිමිනි. එයට පාදක වූයේ කේපී එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රබල නායකයෙකු වූ අතර ඔහු සතුව විශාල වත්කම් ප‍්‍රමාණයක් තිබෙන බවට විශාල සංවාදයක් රට තුළ ඇතිවීම මෙන්ම ඔහු රාජපක්ෂ ආණ්ඩුව සමඟ සමීප ගනුදෙනුවක් පැවැත්වූ බවට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයද චෝදනා එල්ල කර තිබීමයි.
මේ කරුණු හේතුවෙන් කේපී අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙස මන්ත‍්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් එවකට විපක්ෂයේ සිට කේපී විවේචනය කළද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙකු වන එක්සත් ජාතික පක්ෂය කේපීට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා තත්වයක් මත ජවිපෙ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළේය.
පෙත්සම අධිකරණයෙන් පිළිනොගැනීමත් සමඟ නැවත මෙය සංවාදයට ලක්විය. “කේපී ගැන ලොකු සංවාදයක් තිබුණා. නමුත් ඔහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා අධිකරණයම කියනවා.” මාධ්‍යවේදිකයෙක් විජිත හේරත් මන්ත‍්‍රීවරයාගෙන් විමසීය.
“පහුගිය කාලේ කේපී ගැන ලොකු විවේචනයක් තිබුණා. කේපී ළඟ තිබුණ නැව්වලට, ෂෙඩ්වලට, මුදල්වලට මොකද වුණේ කියලා. ඒ දවස්වල යූඑන්පීය කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ඩීල් දාලා වත්කම් බෙදාගත්තා කියලා. නමුත් ආණ්ඩුව ගත්තට පස්සේ නීතිමය කටයුතු මොකුත් කළේ නැහැ. ලංකාවට ගෙන්නුවට පොලිසියේ පැමිණිල්ලක් ලියලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව මොකුත් කරලා නැහැ. අපි තමයි පක්ෂයක් විදියට මේ ගැන නීතිමය පියවරක් ගන්න උත්සහ කළේ. මේ ආණ්ඩුවත් කේපී එක්ක ඩීල් දාලා කියලයි අපිට පේන්න තියෙන්නේ.” විජිත හේරත් කියා සිටියේය.










