මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ණය නිකුත් කිරීමේදී මෙරට ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් සමඟ වූ දුරකතන සංවාදයක මෙතෙක් හෙළි නොවූ හඬපටයක් තම සංවිධානයට ලැබී ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, උතුරුමැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරීන් කිහිප දෙනකු අතර 2015 පෙබරවාරි 27දා සිදුවූ දුරකතන සංවාදයක තොරතුරු විදෙස් රටක සිට තම සංවිධානයට ලැබී ඇති බව සමරසිංහ මහතා කියයි.
වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් වසන්නේ අදාළ සංවාදය හරහා ඉදිරියේදී සිදු වන විමර්ශනවලට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අවශ්‍යව තිබූ ණය පහසුකම් ලබාදීමට උපදෙස් දුන් හා උපදෙස් ලැබූවන් මෙන්ම ඊට මැදිහත් වූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළිදරව් වනු ඇති බවය.
මේ ගනුදෙනුව කරන විට “වස කුප්පියකුත් රැගෙන එන්නේ නම් හොඳ යැයි” එක් පුද්ගලයකු එකී සංවාදය හරහා කළ ප්‍රකාශයක්ද එම හඬ පටයට අඩංගු වී ඇති බවත් සංවාදය පිළිබඳ සියලු තොරතුරු ඉදිරි දින කිහිපයේදී හෙළිදරව් කිරීමට සූදානම් බවත් ඒ මහතා පැවැසීය.
ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙම හඬ පටය විමර්ශනය කිරීමට අදාළ ආයතනවලට ඉදිරියේදී ලබා දීමට සූදානම් බවය.










