අපේ රට වැටී තිබෙන ඛේදවාචකයෙන් ගොඩ ගන්න ඔක්තෝබර් විප්ලවයේ පාඩම් ජනතාවට ඉතා වැදගත් වේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔක්තොම්බරු විප්ලවයේ සියවන සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන් ප්‍රධානතම සැමරුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කැඳවා තිපූ මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා…
ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්…
“මේ වසරේ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ලෝකය පුරා බොහෝ රටවල සැමරුම් උත්සව පැවැත්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණද ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා. ඔක්තෝබර් 27 සහ 28 දෙදින පුරා කොළඹ විහාරමහාදේවී පරිශ‍්‍රයේදී එම වැඩසටහන් ක‍්‍ර‍්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔක්තෝබර් 27 උදේ 10ට සමරු ප‍්‍රදර්ශනය විවෘත කරන අතර ඒ සඳහා විදෙස් තානාපතිවරුන්, රුසියානු කොමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් ඇතුළු විදේශ නියෝජිතයින්, ආරාධිත අමුත්තන් ජවිපෙ නායකයින් සහභාගි වෙනවා. 27දින සවස 3.00ට වීදි නට්‍යය සංදර්ශනයක් පවත්වනවා. සවස 3.30ට පොත් තුනක් එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් විප්ලවය සම්බන්ධයෙන් ලියන ලද ලිපි මාලාවක එකතුවක් සහිත පොතක්, රුසියානු ලේඛිකා ඉරීනා මලෙන්කෝ විසින් ලියන ලද පොතක පරිවර්තනයක් වූ “සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස” සහ “සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” පොතේ දෙමළ පරිවර්තනය එළිදැක්වීමට නියමිතයි. එම අවස්ථාවට රුසියානු ලේඛිකා ඉරීනා මලෙන්කෝ, ගුණසේන විතාන ඇතුළු සාහිත්‍යධරයින් සහභාගි වීමට නියමිතයි. එදින සවස 6.00ට විකල්ප සංස්කෘතික සැඳෑවක් පැවැත්වෙනවා.
28වැනි දින උදේ 9.30ට සමරු ප‍්‍රදර්ශනය ආරම්භ වන අතර පෙ.ව. 10.00ට ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබරයේ සිතුවම නම් චිත‍්‍ර වැඩසටහනක්, සවස 2.00ට වීදි නාට්‍ය සංදර්ශයනයක් පැවැත්වෙන අතර ප‍්‍රධාන සමරු උත්සවය ප.ව. 3.30ට ජවිපෙ නායකයින්ගේ බංගලාදේශ සහ රුසියානු විදේශ නියෝජිතයන්ගේ සහ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. සවස 6.00ට ප‍්‍රවීන ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ගීත ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. එම වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඔක්තෝබර් විප්ලවය පිළිබඳව, සමාජවාදය පිළිබඳවත් අත්දැකීමක් අවබෝධයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සහභාගී වෙලා අත්දැකීම් ලබාගන්නා ලෙස ජනතාවටත් දුවා දරුවන්ටත් විශේෂයෙන් පාසැල් ශිෂ්‍යයන්ටත් අපි ආරාධනා කරනවා.
ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් ගතවනවිට එහි අත්දැකීම් ලංකාවට වැදගත් වෙන්නේ ඇයි? ඔක්තෝබර් විප්ලවය කියන්නේ 1917දී රුසියාවේදී සිදුවූ දෙයක්. එදා රුසියාව ඉතාම නොදියුණු රාජ්‍යයක්. සාර් පාලනය යටතේ ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියා. ගොවියන්ට ඉඩම් තිබුණේ නැහැ. ජනතාවට ආහාර තිබුණේ නැහැ. ඉතාම අඩු පහසුකම් යටතේ නොදියුණු වැඩවසම් රාජ්‍යයක් ලෙසටයි රුසියාව තිබුණේ. නමුත් 1917 විප්ලවයෙන් පසු සෝවියට් රුසියාව ලෙස දැවැන්ත ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් දිනා ගත්තා. විප්ලවයෙන් වසර 40කට පමණ පසු ලෝකයේ බලවත්ම රාජ්‍ය දෙකෙන් එකක් බවට පත්වෙන්න සෝවියට් රුසියාවට හැකිවුණා. ආර්ථික වශයෙන් විශාල වර්ධනයක් අත්කරගත්තා. විප්ලවයෙන් වසර 13කට පසු 1930වනවිට රැකියා ප‍්‍රශ්නය විසඳන්න සමත් වුණා. 1940 ගණන්වල දෙවන ලෝක යුද්ධයේදී නාසීන් පරාජය කිරීමට විශාල කාර්යභාරයක් සෝවියට් රුසියාව විසින් සිදුකළා. දෙවන ලෝක යුද්ධයෙන් සිදුවූ කෝටි 5ක මරණ සංඛ්‍යාවෙන් කෝටි දෙකක්ම සෝවියට් පුරවැසියන් වීම විශේෂත්වයක්. සෝවියට් රුසියාවට විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදුවුණා. දෙවන ලෝක යුද්ධයෙන් අවුරුදු 10-12ක් ගතවනවිට ප‍්‍රබල රාජ්‍යයක් බවට පත්වීමට රුසියාවට හැකිවුණා.
විද්‍යාව හා තාක්‍ෂණික ක්ෂේත‍්‍රයේ විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් අතරගන්න රුසියාවට හැකිවුණා. අභ්‍යවකාශ තරණයේ ප‍්‍රමුඛ ස්ථානයක් දිනා ගත්තා. විප්ලවයෙන් වසර 40ක් ගතවනවිට 1957දී ස්පුට්නික් යානය අභ්‍යවකාශගත කිරීමට රුසියාව සමත් වුණා. 1957 ලයිකා බැල්ල අභ්‍යවකාශගත කිරීමටත් 1961 පළමු මිනිසා, යුරී ගගාරින් අභ්‍යවකාශ ගත කිරීමටත් අනතුරුව 1963දී පළමු ගැහැනිය ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා අභ්‍යවකාශගත කිරීමටත් රුසියාව සමත්වුණා. එමෙන්ම අධ්‍යාපනය ක්‍ෂේත‍්‍රයේ රුසියාව විශාල ජයග‍්‍රහණ අත්කර ගත්තා. 1916වනවිට 24%ක්වූ සාක්‍ෂරතාවය 99%දක්වා වර්ධනය කරගැනීමට සමත්වුණා. සෝවියට් රුසියාවට අයත්ව තිබූ කිර්ගීසියාව 1930ගණන් වනවිටත් හෝඩියක් පවා අහිමි රාජ්‍යයක්. නමුත් සමාජවාදය යටතේ හෝඩියක් හඳුන්වා දී ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන් බිහිකිරීමට සමත් වුණා. ලෝකයේ වැඩිම පොත් පරිශීලනය කරන රටක් ලෙසත් පුස්තකාල වැඩි ප‍්‍රමාණයක් තිබෙන රටක් ලෙසත් රුසියාව ප‍්‍රධාන තැනක් ගන්නවා. 1940 වනවිටත් පුස්තකාල 70,000ක් පමණ රුසියාවේ තිබුණා. සාහිත්‍ය කෘති රැසක උපත රුසියාවේදී සිදුවුණා. චිංගීස් අයිත්මාතොව්, මිහායිල් ෂෝලහොව්, ගෝර්කි, වැනි සාහිත්‍යධරයින් බිහිවුණා. අදටත් ලංකාවේ පොත් ප‍්‍රදර්ශනවල පරිවර්තන කෘති ලෙස තිබෙන්නේ රුසියානු පරිවර්තන. ඒ මගින් මුළු ලෝකයටම දැනුම ලබාදෙන්න රුසියාව කටයුතු කළා.
ක්‍රීඩා ක්ෂේත‍්‍රයේදීත් විශාල ජයග‍්‍රහණ ලැබුවා. සෝවියට් රුසියාව පැවති සමයේ ඔලිම්පික් උළෙලේ වැඩිම පදක්කම් ලාභියා වුණා. උස පැනීමේ ලෝක ශූරයා අදටත් රුසියානුවෙක්. ආර්ථික, අධ්‍යාපනික, විද්‍යා-තාක්‍ෂණික, සාහිත්‍ය සහ ක්‍රීඩා සියලුම ක්ෂේත‍්‍රවල ජයග‍්‍රහණ රැසක් අත්කකර ගැනීමට හැකිවුණේ ඔක්තෝබර් විප්ලවයත් සමාජවාදී පරිවර්තනයත් නිසයි. නොදියුණු වැඩවසම් රුසියාව ජයග‍්‍රහණ රැසක් දිනාගන්න මෙම සමාජ පරිවර්තනයෙන් හැකිවුණා. අද අපේ රට ගත්තාම අපරාධ වැඩිවෙලා මිනීමැරුම් වැඩිවෙලා. නමුත් සෝවියට් රුසියාව සමාජවාදය තුළ අපරාධ සිදුවුණේ නැහැ. අපරාධවලින් තොර එවැනි රටක් සමාජවාදී පරිවර්තනයකින් හදන්න හැකි බව රුසියාව කරලා පෙන්නුවා.
රුසියාව තමන් ගැන පමණක් හිතපු රාජ්‍යයක් නෙවෙයි. ලෝකයේ බොහෝ දිළිඳු රටවලට ආධාර ලබාදුන්නා. ලංකාවට ඔරුවල වානේ සංස්ථාව ආධාරයක් ලෙස ලබාදුන්නා. ප‍්‍රජා ශාලා, සේවක නිවාස, සියලුම දේ නොමිලේ ලබාදුන්නා. කැළණි ටයර් කම්හල, රෙදිපිළි කර්මාන්ත ශාලා ලබාදුන්නා. මේ ආකරයෙන් ලෝකයේ බොහෝ රටවලට උදව් උපකාර කළා. සාහිත්‍ය කෘති විශාල වශයෙන් ලබාදුන්නා. 1980 ගණන්වල ලෙනින්ගේ තෝරාගත් කෘති 12ක් සුළු මුදලකට ලබාගන්න ජනතාවට හැකියාව තිබුණා. එවැනි රටක් ගොඩනැගුවේ ඔක්තෝබර් විප්ලවයෙන්. ඒ නිසාම අපිට ඔක්තෝබර් විප්ලවය ඉතාම වැදගත්.
1917 විප්ලවයෙන් පසු රුසියාව විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් අත්කර ගනිද්දී 1948 නිදහස ලබාගෙන වසර 70ක් ගතවනවිට අද අපේ තත්වය මොකක්ද? ආර්ථිකය බිඳවැටිලා. එදා තිබුණු තේ, පොල් රබර් ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටිලා. මුළුමනින්ම ණයවලින් දුවන රටක් බවට පත්වෙලා. 1948 ණය නැති අපේ රට අදවනවිට රු. කෝටි දශලකක්‍ෂ පනස් දාහක ණයකාරයෙක් බවට පත්කරලා. අපේ රටේ පාලකයින් රට විනාශය කරා ගෙනගිහින්. විද්‍යාවෙන් තාක්‍ෂණයෙන් කිසිම ජයග‍්‍රහණයක් අත්කරගෙන නැහැ. සෝවියට් රුසියාව 1930වනවිට රටේ රැකියා ප‍්‍රශ්නය විසඳන අතර ලංකාවේ අදත් උපාධිධාරීන් මහපාරේ. ඒ තමයි රුසියානු විප්ලවයේ වෙනස. අදවනවිට රුසියාව ලංකාවට නොමිලේ ලබාදුන්න කර්මාන්ත ශාලාවලට මොකද කරලා තියෙන්නේ. ඔරුවල වානේ සංස්ථාව පුද්ගලික අංශයට වික්කා. ටයර් සංස්ථාව විකුණලා දැම්මා. තුල්හිරිය රෙදි කම්හල විකුණලා දැම්මා. තුනී ලෑලි සංස්ථාව වහලා දැම්මා. අපේ රටේ පාලකයෝ නොමිලේ ලැබුණු කර්මාන්ත ශාලා ටික විකුණගෙන කෑවා.
අද අපේ රටේ අපරාධ වැඩිවෙලා. ඝාතන, සියදිවි නසාගැනීම්, රිය අනතුරු වැඩිවෙලා. කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා. රුසියාවට එදා සමාජවාදය යටතේ ජනනතාවගේ මූලික ප‍්‍රශ්න විසඳලා ජාතික සමගිය හදන්න හැකියාව ලැබුණා. නමුත් 1990 බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලින් සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසු අද ධනවාදයේ අඝාදයට වැටිලා. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල කාන්තාවන් අද ඇඟ විකුණන තත්වයට පත්වෙලා. සරණාගතයන් බවට පත්වෙලා. අපරාධ වැඩිවෙලා. ජනතාවගේ ඇති නැති පරතරය වැඩිවෙලා. එනිසා ඔක්තෝබර් විපලවයේ අත්දැකීම් අපිට ඉතාම වැදගත්. ඒ අත්දැකීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ බෙදා හදා ගන්න අපි කටයුතු කරනවා. අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකයෙන් මුදවා ගන්න ඔක්තෝබර් විප්ලවයේ පාඩම් ඉතාම වැදගත් වේ යැයි අප හිතනවා.
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
“1990 සෝවියට් රුසියාව බිඳ වැටුණේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල බලපෑම නිසයි. ඒ වගේම රුසියාවේ පසු කාලීනව ඇතිවූ නිලධාරී පැලැන්තියේ ක්‍රියාකාරිත්වයත් න්‍යායික අඩුපාඩු නිසාත් සෝවියට් දේශය බිඳවැටීමට ලක්වුණා. විශේෂයෙන් ගොර්බචොෆ්ගේ වැරදි ප‍්‍රතිසංස්කරණ නිසා සෝවියට් දේශය දුර්වල වුණා. කරුණු රැසක් නිසා සෝවියට් දේශය බිඳවැටුණු අතර බිඳවැටීමෙන් පසුව ධනවාදය තුළ රුසියානු ජනතාව විශාල ආඝාධයකට ඇද වැටී තිබෙනවා.”
රවී කරුණානායකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකියි…
“බැඳුම්කර කොමිසමේ පරීක්‍ෂණවල ඉදිරිය කුමක් වේවිදැයි කියන්න පුළුවන්කමක් නැහැ. ජවිපෙ මුල සිටම බැඳුම්කර ගනුදෙනුවෙන් වංචාවක් සිදුවූ බවත් ඊට අගමැතිවරයා වගකිව යුතු බවත් ප‍්‍රකාශ කළා. හඳුන්නෙත්ති සහෝදරයා සභාපතිත්වය දරන කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීමේදී එය අවුල් කිරීමට එජාප මන්ත්‍රීවරු උත්සාහ කළා. කෙසේ වෙතත් කෝප් වාර්තාවෙන් මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු රැසක් අනාවරණය වුණා. ජනාධිපති කොමිසමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය බලයක් නැහැ. නීතිමය පියවර ගත යුත්තේ ආණ්ඩුවයි. කෙසේ වෙතත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාවේ කරුණු ප‍්‍රමාණවත්. කෝප් කමිටුව සහ ජනාධිපති කොමිසමේ වෙනස කෝප් කමිටුව මාධ්‍යවලට විවෘත නොවීමයි. ජනාධිපති කොමිසමේදීත් සාකච්ඡාවට ලක් කෙරෙන්නේ කෝප් කමිටුවේදී විමර්ශනයට ලක් කෙරුණු කරුණුයි. එනිසා නීතිමය පියවර ගන්නවා නම් කෝප් වාර්තාව ප‍්‍රමාණවත්. කෙසේ නමුත් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරන්නේ විමර්ශනවලට නම් එහි ගැටලුවක් නැහැ. නමුත් නීතිමය ක්‍රියාමාර්ගක් නොගෙන දිගින් දිගටම කල් ගන්නවාට අපි විරුද්ධයි. ඒ වගේම අගමැතිවරයා කොමිසමට ගෙන්විය යුතු බවට අපි දිගින් දිගටම කිව්වා. කොමිසමේ වාර්තාවට මොකද වෙන්නේ කියලා අපිට කියන්න බැහැ. නමුත් මේ වනවිටත් රවී කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. ඔහු නිවසක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු නිලධාරීන්ට ගනුදෙනුවට වාසි වන විදිහට ක්‍රියා කරන්න නියෝග ලබාදී තිබෙනවා.”
නව ව්‍යවස්ථාව…
“ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නයට අමතරව රටේ ජනතාවට විශාල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. කළු සල්ලි හම්බකරන සුළු පිරිසට අමතරව අද සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අමාරු තත්වයක් උදාවෙලා තිබෙනවා. ජාතික සමගිය, නැතිවෙලා. රටේ අපරාධ වැඩිවෙලා. කෙසේ නමුත් රටේ පවතින ව්‍යවස්ථාව නරක නම් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකෙන සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්‍ෂා වන රටට වාසි ව්‍යවස්ථාවක් සකස්කළ යුතුයි. නමුත් එවැනි ආකාරයක ව්‍යවස්ථාවක් හැදෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අලුත් මැතිවරණ ක‍්‍රමයක් සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. නමුත් අද වනවිට ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් නැති තත්වයක් තුළ විශාල සංවාදයක් ඇතිවෙලා තිබෙනවා. හෙට රට බෙදයි කියලා එක කණ්ඩායකමක් කෑ ගහනවා. මේ සංවාදය හදලා තිබෙන්නේ පරාජයට පත්වූ බංකොළොත් දේශපාලන කණ්ඩායමක් විසින්. කෙටුම්පතක් සකස් කළාට පසුව ඒ ගැන සංවාද කරන්න පුළුවන්. නමුත් දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න සියලුම දෙනාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ජනතාවට තිබෙන ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න මෙම ව්‍යවස්ථා මාතෘකාව උඩට අරගෙන තිබෙනවා. ආණ්ඩුවටත් මේ සංවාදය වාසිදායක වෙලා.”
වීරවංස ජනතවා ඉදිරියේ විහිළු කාරයෙක්…
“වීරවංශ මන්ත්‍රීවරයා ගැන කතා කිරීම වැඩකට නැති දෙයක්. ඔහු ජනතාව ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා ඉවරයි. ඒ වගේම දේශපාලන තක්කඩියෙක්. ඔහුගේ ප‍්‍රකාශ ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ වටේ ඉන්න පිරිසගේ නරුමකම ඔවුන්ගේ ප‍්‍රකාශවලින් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සම්මත කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නැයි විමල් වීරවංශ කියන විට මහින්ද රාජපක්‍ෂත් එක්ක ඉන්න කමල් ගුණරත්න කියනවා ව්‍යවස්ථාවට අත උස්සන ඇමතිවරුන්ට වෙඩි තියලා මරන්න ඕන කියලා. මහින්ද වටේ ඉන්නේ මොන තරම් සාහසික බලවේගයක්ද? රටක ව්‍යවස්ථාවට පක්‍ෂ වෙන්න හෝ විරුද්ධ වෙන්න කාටත් අයිතියක් තිබෙනවා. ව්‍යවස්ථාවක් සම්මත වීමේදී ජනමත විචාරණයකට යන්න සිදුවෙනවා. එවිට ජනතාවට තීරණය කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඕනද එපාද කියන එක. නමුත් මහින්ද රාජපක්‍ෂ වටේ ඉන්න කණ්ඩායමේ සාහසික ප‍්‍රකාශවලින් ජනතාව තේරුම් ගන්න ඕනෑ, මෙවැනි කණ්ඩායමක් අතට නැවත බලය අත්පත් වුණොත් කුමණ තත්වයක් උදාවේද කියලා. මෙවැනි ප‍්‍රකාශවලට එරෙහිව අපේ රටේ නීතිය අනුව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…
“ව්‍යවස්ථාව එපා කියන අය 13වැනි සංශෝධනයෙන් දැනටමත් බලය බෙදා තියෙන බව දන්නේ නැද්ද? පොලිස් බලතල තිබෙන බව දන්නේ නැද්ද? නව ව්‍යවස්ථාවක් එපා කියන අය 13 පිළිගන්නවාද? මහින්ද රාජපක්‍ෂ වසර 09ක් බලයේ හිටියා. ඔහුට තිබුණු 2/3 බලය පාවිච්චි කරලා 13 ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. රටට අහිතකර දේවල් ඉවත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ 2/3 බලය පාවිච්චි කරලා තමන්ට තව දුටරත් ජනාධිපති ධුරයේ ඉන්න බලය වැඩිකරගත්ත එක. රට ගැන හිතුවේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරයේ ඉන්න කාලයේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර තිබූ ගැසට් නිවේදනය දිගින් දිගටම අත්සන් කළා. උතුරු නැගෙනහිර වෙන් කරන්න කටයුතු කළේ ජවිපෙ නීතිමය ක්‍රියාමර්ග නිසා. එදා රටට හානිකර දේවල් ඉවත් කරන්නේ කිසිවක් නොකළ මහින්ද රාජපක්‍ෂ අද බොරුවට කෑ ගහනවා.”
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි…
“විධායක ජනාධිපති ධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වරක් ජනාධිපතිවරණය වෙනුවෙන් පෙනී ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහුගේ පොරොන්දුවලට අනුව අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක් පත්වීමටත් හැකියාවක් නැහැ.”











