රාජගිරිය ගුවන් පාළමේ ඉදි කිරීම් හේතුවෙන් බත්තරමුල්ල හා බොරැල්ල අතර රථ වාහන ගමනාගමනය අද (24) සිට මං තීරු 04ට සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පාළමේ ඉදි කිරීම් කටයුතු අවසන් කෙරෙන තෙක් එම මාර්ගයේ මං තීරු දෙකක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට මං තීරු දෙකක් සහ බොරැල්ල දෙස සිට බත්තරමුල්ල දක්වා මං තීරු දෙකක් රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ මාර්ගයේ ඇති විය හැකි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දීමක් කරයි.
නුගේගොඩ දෙස සිට බොරැල්ලට පැමිණෙන රථ වාහනවලට හයිලෙවල් මාර්ගය භාවිත කරන ලෙසත් කැළණිය හා කඩුවෙල දෙස සිට පැමිණෙන රථ වාහනවලට කොළොන්නාව, ඔරුගොඩවත්ත හරහා ගමන් කළ හැකි බව රථවාහන පොලීසිය පවසයි.
අධිවේගී මාර්ගය ඔස්සේ අතුරුගිරියට පැමිණ බොරැල්ල දෙසට ගමන් ගන්නා රථ වාහන සඳහා කඩවත පිටවීම දක්වා ගොස් බොරැල්ල දෙසට පැමිණිය හැකි බවද රථවාහන පොලීසිය සඳහන් කරයි.










