එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට

එජාප මන්ත්‍රී නිවසෙන් ජීව උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් මතුවෙයි – බිරිඳත් අත්අඩංගුවට

දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්රිගු මහතාගේ නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් මධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

ඊට අමතරව වෙඩි නොවදින කබායක් සහ පිස්තෝල රඳවනයක්ද ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් රන්දීර් රොද්රිගූ මහතාගේ බිරිද ද අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

ඊයේ (23) දහවල් දිවුලපිටිය හේනගෙදර ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

කොල්ලකෑමක් සදහා වෑන් රථයකින් පුද්ගලයින් පිරිසක් පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ වෑන් රථය පරික්ෂා කිරීමට යාමේ දී කොල්ලකරුවන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකායට වෙඩි තබා තිබේ.

එහිදී පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් කුෂාන් තක්ෂිල කුරේ නැමති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn