ඇවන්ගාඩ් මුදලාලිට සහ පාලිත ප්‍රනාන්දුට ඇප –  නඩුව 2018ට කල් යයි

ඇවන්ගාඩ් මුදලාලිට සහ පාලිත ප්‍රනාන්දුට ඇප –  නඩුව 2018ට කල් යයි

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඇවන්ට්ගාඩ් මැරෙන් සමාගමේ සභාපති නිෂ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු  ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය විසින් අද (03) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව එක් එක් විත්තිකරුවා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්ථාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන්ද මහාධිකරණ විනිසුරුවරයා පොලිසියට නියෝග කර තිබේ.

අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන් වෙත බාර දී ඇති අතර ඉන්පසු රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශකර ඇත්තේ මෙම නඩුව දින 5කින් පමණ විභාග කර අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ළඟම දිනයක් ලබා දෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරය නඩු විභාගය 2018 වසරේ මාර්තු මස 19 වැනිදා ආරම්භ කරන බව කියා තිබේ.

මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ අවස්ථාවේදී තමන්ට වාසියක් සලසා ගැනීමේ අටියෙන් විත්තිකාර නිෂ්ශංක සේනාධිපති විසින් ඔහුට රුපියල් ලක්ෂ 355ක මුදලක් ලබා දුන් බවත් එය ලබා ගැනීම මගින් පාලිත ප්‍රනාන්දු රජයේ සේවකයෙක් වශයෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම මේ නඩුව පවරා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්