යාපනය කයිට්ස් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය කාමාතුරයින් විසින් සමූහ දූෂණයකට ලක් කර ඉතා කුරිරු ලෙස ඝාතනය සිදු කළ සිද්ධියට අදාළව ළමා හා වනිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජ මහතාගෙන් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බව රජයේ නීතීඥ එස් නිශාන්තන් මහතා ඊයේ (08) අධිකරණයට දැනුම්දී තිබේ.
එමෙන්ම යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනව ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඊයේ අධිකරණයට දැනුම්දී ඇත.
ගමගේ කුමාරලාල් පෙරේරා නම් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර තමාටද කරුණු කීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් මුදා හරින අවස්ථාව වනවිට යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිට ඇත්තේ මෙම පොලිස් නිලධාරියා ය. ඔහුට ඉහළින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වූයේ රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ය.
විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කියන ස්විස් කුමාර් මුදා හැරියේයැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ නියෝග කර ඇත.
විද්‍යා සිසුවිය ඝාතනය කරනු ලැබුවේ කයිට්ස් මහේස්ත්‍රාත් බල ප්‍රදේශෙයේ වුවත් ස්විස්කුමාර් නම් සැකකරු මුදා හැර ඇත්තේ එම බලප්‍රදේශයේ නොවන බැවින් මෙම පැමිණිල්ල පවත්වාගෙන යා යුත්තේ කුමන අධිකරණයක දැයි ඊළඟ නඩු වාරයේ නීතිපතිගෙන් විමසා දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරයාට නියෝග කර තිබේ.
සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තේ සාධාරණ හේතුවක් නැතිව බවත්, ඔහුට ඇප දීමට කිසිම බාධාවක් නැති බවත් ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ. ඒ ගැන දීර්ඝ කරුණු දැක්වීමක් කළ නීතීඥවරු ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇත.
විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය පවත්වා උදෘත නීතිපතිට යොමු කළ බවත් නීතිපති උපදෙස් ලැබුණු පසු සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බවත් ස්විස් කුමාර් මුදා හැරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සහ රජයේ නීතීඥ එස් නිශාන්තන් මහතා අධිකරණයට දන්වා තිබේ.
ස්විස් කුමාර් මෙම ඝාතනයට අත්‍යාවශ්‍ය සැකකරුවකු බව තමා ලලිත් ජයසිංහ මහතාට දැන්වූයේයැයිද ඒ අනුව ස්විස් කුමාර් ගෙන එන ලෙස උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු ලබා දුන්නේයැයිද ලලිත් ජයසිංහ මහතා ලබා දුන් උප පොලිස් පරීක්ෂකගේ පෙරැත්ත කිරීමට ස්විස් කුමාර් තම මෝටර් රථයේ නංවාගෙන යාපනය පොලිසියට ගෙන ආවේයැයිද කොළඹ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා ප්‍රකාශ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නීතීඥවරයාප්‍රකාශ කර තිබේ. ස්විස් කුමාර් සැකකරුවකු බව ලලිත් ජයසිංහ මහතා දැන සිටි බව ස්විස්කුමාර්ගේ රට ගමන් නවත්වන ඔහුගේ ගුවන් ගමන් බලපත් අංකය ජයසිංහ මහතා විසින් උප පොලිස් පරීක්ෂකවරයකුට ලබා දීමෙන්ම පෙනී යන් බවද ඔවුහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
වෙනත් නඩුවකට දැනට බන්ධනාගාර ගතව සිටින පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර මහතාගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිඛෙන බවත් පරීක්ෂණ තවම අවසන් නැති බවත් රජයේ නීතීඥවරයා අවසන් වශයෙන් අධිකරණයට දන්වා තිබේ.
ඔවුන්ගෙන් දින කිහිපයක් ඇතුළත් අදාළ ප්‍රශ්නකිරීම් ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිනාල් මහතා වෙත ඊයේ දැනුම් දී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.










