වරාය චීනෙට නොදී මුදල් හොයන ක‍්‍රමයක් සුනිල් හඳුන්නෙත්ති කියයි

වරාය චීනෙට නොදී මුදල් හොයන ක‍්‍රමයක් සුනිල් හඳුන්නෙත්ති කියයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින් පැවැත්වූ වැඩමුළුවක් පසුගිය පළවෙනිදා බත්තරමුල්ලේදී පැවැත්විණි. ඒ සඳහා කතානායකවරයා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවූ අතර මන්ත‍්‍රීවරුන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහිදී හර්ෂ ද සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර කතානායකවරයාගේ දේශනයේදී කෝප් කමිටුවේ කාර්යභාරය විශාල ඇගයීමකට ලක්විය.

ඉන්පසුව එළඹියේ කෝප් සභාපතිවරයාගේ කතාව. එහිදී ඔහු ආණ්ඩුවට අපූරු යෝජනාවක් කළේය.

“කෝප් කමිටුව මේ වෙනකොට රැස්වීම් වාර 98ක් පවත්වලා තිබෙනවා. ආයතන 58ක් විමර්ශනයට කැඳවලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පමණක් රැස්වීම් වාර 14ක් පැවැත්වූවා. මෙතෙක් පැවැති කෝප් කමිටුවලට සාපේක්ෂව ගත්තාම මේ කාල පරිච්ඡේදය තමයි ක‍්‍රියාකාරිත්වය ඉහළම කියලා අපිට නිලධාරීන් කියනවා.

දැන් ආණ්ඩුව වරාය විකුණන්න යන්නේ ඩොලර් බිලියනයක් හොයාගන්න. නමුත් අපි ඉදිරිපත් කරලා තියෙන කෝප් වාර්තාවල ඊට වඩා වංචා දූෂණ සිදුවෙලා තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුවේ විතරක් ඒ මොහොතේ පාඩුව රුපියල් බිලියන 1.6ක්. සහල් ආනයනයෙන් සිදුවූ පාඩුව කෝටි 551ක්. මේ වගේ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වලා අයකරගන්න පුළුවන් ඒවා අයකරගෙන වංචාව දූෂණය නතර කරන්න ආණ්ඩුව කටයුතු කරනවානම් අපේ රටේ දේපළ විකුණන්න ඕන වෙන්නේ නැහැ.

රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා කෝප් කමිටුවෙන් හොරු අල්ලයි කියලා. නමුත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නේ හොරු ආරක්ෂා කරන එක.” කෝප් සභාපතිවරයා කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්