ගවර්ස් කෝපරේෂන් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධීකරනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරනය අද (28) නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන නඩුව අද (28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බොගොල්ලාගම, නිත්‍යා සේනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීව යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ පනත යටතේ චෝදනා 11කින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරනය වෙත ලබා දී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් මුදල් වලින් ගවර්ස් කෝපරේෂන් නැමති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගැනීම මගින් මුදල් විශුද්ධීකරනය සිදු කර ඇති බවට නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් වන ඉන්දික කරුණාජීව, ඉරේෂා සිල්වා යන අය අද දින මහාධිකරනය ඉදිරියේ පෙනී නොසිටි අතර එම විත්තිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සලකා බැලීමට නඩුව අගොස්තු මස 31 වැනි දා යළි කැඳවීමට නියමිතය.
මහාධිකරන විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරනයේ නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට පවරා ඇති නඩුව සලකා බැලීමේන් අනතුරුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරනය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මීට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය නියෝග කර තිබිණි.










